පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා භාවිතා කරන බවට තොරතුරු පළ වන බවත්, ඒ පිළිබඳ ඔහු පැහැදිලි කිරීමක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (19දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අදාල මොටර් රථය රාජසන්තක වීමෙන් පසු පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත යොමු කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළ බවත්, තමා මෙම රථය භාවිතා කර නොමැති බවත් ඊට පිළිතුරැ ලබා දෙමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
මේ අතර පොලීසිය භාරව සිටි අමාත්‍යවරයා නඩු භාණ්ඩයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු - අවධානය යොමු කරන්න කැමතියි සභාවට. මේ මොහොතේ ලංකාවේ ඉන්න ප්‍රධාන මාධ්‍යවේදියෙක් දාලා තිබෙනවා වාහනයක පින්තූරයක් සමග. ඒකේ සහරාන් හෂීම් භාවිතා කළ වාහනයක් කියලා දාලා තියෙනවා. ඒ වගේම එම වාහනය සරත් වීරසේකර මහතා භාවිතා කරන බවට සඳහන් කරනවා. අධිකරණයේ තිබෙන නඩු භාණ්ඩයක් පාවිච්චි කළ හැකිද අහනවා. ඔබතුමාටත් ඒක හොඳ නෑ. අනිද්දාට ඒ ප්‍රහාරයට අවුරැදු 03ක් ගතවෙන වෙලාවේ සහරාන්ගේ වාහනේ ඔබතුමා පාවිච්චි කරපු එක ගැන උත්තරයක් දෙන්න කියලා මම කියනවා.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර - අද උදේ මේ පිළිබඳ ආරංචිය ආවම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා. එතුමා කිව්වා මේක රාජසන්තක කරපු වාහනයක් පොලීසියට දීලා, පොලීසිය විසින් විශේෂ කාර්ය බලකායට ඇටෑච් කරලා තිබෙනවා කියලා. මට ඇටෑච් කරලා නෑ. මම පාවිච්චි කරලාත් නෑ කියලා කියනවා.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - පොලිස් ඇමතිතුමා නඩු භාණ්ඩයක් පාවිච්චි කළේ කොහොමද කියන ගැටලුව තියෙනවා. මොකද සහරාන්ට නඩුවක් තිබෙනවා. ඔහු පාවිච්චි කළ වාහනය නඩු භාණ්ඩයක් වෙන්න ඕනී.