ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අතර කාන්තාවන්ද සිටින බව දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ සමාගම් පහක ප්‍රධාන තනතුරු දරන්නන් ද ඒ අතර සිටින බව දැනගන්නට ඇත.
2018 වසරේ සිට ගොවීන්ට ලබා දීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන් වෙත ලබා නොදී විවිධ වංචනික ක්‍රම මගින් වැඩි මිලට හොරණ , කෑගල්ල හා මාදම්පේ ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රධාන පෙළේ කර්මාන්ත අංශයේ සමාගම් වෙත ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
යූරියා පොහොර මිටියක් රුපියල් 2500/= ආනයනය කර ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන යටතේ රුපියල් 1100/= මිලකට ලබාදිය යුතුව වුවත් එම පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් 3500/= අධික මිලකට
කූට ලේඛන සකසා අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පොහොර මෙරටට ආනයනය කර ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍ර ලබා ගත් පොහොර සමාගම් 18ක් මගිනි.
තුන්වන පාර්ශකරුවන් හරහා අදාළ කර්මාන්ත ශාලා වෙත පොහොර ලබා දී ඇති බවද යුරියා පොහොර ලබාදුන් ඇතැම් ආයතන සමාගම් මැදුරේ ලියාපදිංචි සමාගම් ඔවුන්ගේ නිල නාමයන් යොදාගෙන කූට ලේඛන අයුරින් බිල්පත් සකසා එම කර්මාන්ත කටයුතු සඳහා යූරියා ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ විමර්ශනවලින් මේ වන විට සොයාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස බලගතු පොහොර සමාගම් මගින් කර්මාන්ත අංශයේ සමාගම් වෙත දියර කිරි අලෙවි සැල් , විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථාන ,මෙන්ම යන්තෝපකරණ අලුත්වැඩියා කරන ස්ථාන හා ගොඩනැගිලි ඉදිකරන ස්ථානවලට අයත් (ඉන්වොයිස් ) බිල්පත් යොදා ගනිමින් වැඩි මිලට පොහොර විකුණා ඇතැයිද ඒ සඳහා මුදල් බැර කරගෙන ඇත්තේ ඔවුන් ලබා දුන් ගිණුම් අංක වලට බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව සහනාධාර පොහොර කර්මාන්තශාලාවලට ලබාදීමේදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සමීප ඥාතීන්ගේ නමින්ද ඇතැම් පොහොර සමාගම් ලියාපදිංචි කර මෙම සහනාධාර කර්මාන්තශාලා වෙත ලබාදී ඇති බවට පොහොර ලේකම් කාර්යාලයේ රහස් තොරතුරු වලින් අනාවරණය වේ.
මෙම මහා පරිමාණ කෝටි ගණනාවක වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණ සිදුකරන යන අවස්ථාවේදී ප්‍රශ්න කිරීම් වළක්වාලීමට බලගතු පොහොර සමාගම් මැදිහත්ව රහස් පොලිසියේ අත්අඩංගුවට ගැනීමේ වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ප්රවණතාවක්ද ඇතිවූයේ සිදුකළ මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් ඔවුන් හොඳින් දන්නා නිසා බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඇතැම් උසස් නිලධාරීන් මාර්ගයෙන් නිත්‍යානුකූල අයුරින් පොහොර ලබා දුන් බවට ලිපි ලේඛන ලබා ගැනීමට දරන උත්සාහයක් සම්බන්ධයෙන්ද, එලෙසම එවැනි ලිපි සකස් කිරීමේ කටයුතු රහසිගතව සිදුකිරීමට පිඹුරුපත් සකසා ඇතැයිද, සකසන ලද කූට ලිපි ලේඛන ඇතැම් පොහොර සමාගම් වෙත දැනටමත් නිකුත් කර ඇතැයිද දැනගන්නට ඇත.