රටක සංවර්ධනය යනු කොන්ක්‍රීට් වනාන්තර බිහිකිරීම නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (19දා) වතුගෙදර ප්‍රදේශයේදී පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
''මේ රට අද තියෙන්නේ බොහොම නරක තැනක. මේ තැනින් රට අඩියක්වත් ඉස්සරහට ගන්න දැන් ඉන්න පාලකයොන්ටවත්, එදා සිටි පාලකයොන්ටවත් බැහැ. අපි එහෙම කියන්නේ මේ අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කළානේ. රට ඒ අය සංවර්ධනය කළාද නැහැනේ. මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ලොකු බිල්ඩින් ඉදිකිරීමයි කියලා, රටම කොන්ක්‍රීට් වනාන්තරයක් කළොත් කියලා. ඒක බොහොම වැරදි මතයක්.
දැන් තියෙන ආණ්ඩුවටවත් කලින් හිටිය ආණ්ඩුවටවත් මේ රට හදන්න බැහැ. මේ රට හදන්න ඔවුන්ට ඕනෑතරම් කාලය තිබුණා. බලය ඕනෑ තරම් තිබුණා. නමුත් වසර 70වක්ම රට පාලනය කරපු ඔවුන්ට හදන්න බැරි වුණු රට හදන්න පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි කියන එක අද අපට බය නැතිව කියන්න පුළුවන් .
රටක් හදනවා කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඕන. ඔවුන්ගේ සමාජීය තත්ත්වය උසස් කරන්න ඕන. ගැමි ආර්ථිකය යළි පණ ගන්වන්න ඕන. එහේම නැතිව රටක් සංවර්ධනය කරන්න බැහැ. රටේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන්න ඕන. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් දිය යුතුයි. මම මේ කියන්නනේ රටේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කළ යුතුයි කියන එකයි. දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න වැඩි කරන්න තමයි රටේ සංවර්ධනය ඇති වෙන්නේ. ඒ සඳහා ක්රමික වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි'' යැයි පවසා සිටියේය.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත