ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 09 දින පැවැසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
කාලය සමඟ සටනක නිරතවෙමින් වසර පහක කාලයක් සඳහා ජනතාව බලාපොරොත්තු වූ වැඩ කොටස ඉටු කිරීමට අප මහන්සි විය යුතුයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ආයතන ප්‍රධානීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා පලපුරුද්දක් සහිත රාජ්‍ය නිලධාරී පිරිසක් අප සතුව සිටින බව කී අග්‍රාමාත්‍යතුමා, සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා මඟහැරවා දීමට තමන් පෞද්ගලිකවම මැදිහත්වන බව පෙන්වා දුන්නේය.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන හා ඒවායේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.
සිය රාජ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 7ක් තිබෙන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සියලුම වගකීම් ඉටු කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක බව සඳහන් කළේය.