ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයට පහර දී , තම දූ දරුවන්ද බිය කළ බව ස්වීඩන් ජාතිකයෙකු ඊයේ(12දා) මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ සිය නිවසේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම,
“මම ස්වීඩන් ජාතික 51 හැවිරිදි පර් බියුරලින් මම ස්වීඩනයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගමක තත්ත්ව පාලන ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනවා .මගේ බිරිඳ ශ්‍රී ලාංකික කාන්තාවක් . නමුත් දැන් ඇයත් ස්වීඩන් පුරවැසියෙක්. අපි අපේ දුව සහ පුතා සමග ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ස්ථිරව පදිංචි වී සිටිනවා
අපි මාස දෙකක නිවාඩුවකට ශ්‍රී ලංකාවට ආවා . ශ්‍රී ලංකාවේ සංචාරයක ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකර , මීගමුව ඒත්තුකාළ ප්‍රදේශයේ විදේශ සංචාරකයන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබුණා.
පසුගිය ජූලි 30 දින අපට අයත් මෝටර් රථය නිවස ඉදිරිපිට අතුරු මාර්ගයේ මද වේලාවකට නවතා තැබුවා . ඒ අපගේ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිසා . එම ප්‍රධාන මාර්ගය රුපියල් ලක්ෂ 07 වැයකර කොන්ක්‍රීට් යොදා සකස් කළේ අපි. මෙම අතුරු මාර්ගයේ අපගේ මෝටර් රථය නවතා තැබීමට විරෝධය පළ කරමින් , මෙම මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පවසමින් එම ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරීවරයෙකු , තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පැමිණ කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තා.
ඉන්පසු ඔහු පොල්ලක් රැගෙන අපගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට පහරදී විනාශ කළා. මගේ බිරිඳට පහර දුන්නා. ඇයව උස්සා පොළොවේ ගැසුවා. ඇයගේ යටි බඩට පහර දුන්නා. මෙම සිදුවීමෙන් ඇයගෙන් රුධිරය වහනය වන්නට පටන් ගත්තා. ඇගේ ගෙල බැඳ තිබූ රන් මාලය ඇය හැද සිටි බ්ලවුසයෙන් ඇද පහරදෙත්දී කැඩී නැති වුණා . මටත් බිම දමාගෙන පහර දුන්නා. මේ නිසා අප දෙදෙනා දින 04ක් මීගමුව මහ රෝහලේ 07 සහ 08 වාට්ටුවල නැවතී නේවාසික ප්‍රතිකාර ලබාගත්තා .
මෙම සිදු වීමෙන් අපගේ දරුවන් වඩාත් බියට , සන්ත්‍රාසයට පත් වී තිබෙනවා .ඔවුන් නිවසෙහි කාමරවලින් එළියට එන්නේ නැහැ.ඔවුන් ආපසු ස්වීඩනයට යමු කියා අපට බල කරනවා .අපි මේ පිළිබඳව මීගමුව කොච්චිකඩේ පොලීසියටත්, කොළඹ පොලිස් සහන මැදිරියටත්, පොලිස්පතිතුමාගේ පෞද්ගලික ජංගම දුරකථනයටත් පැමිණිළි කළා.
ඒත් තවම මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නැහැ. මෙම සිද්ධිය ඇති කළ ගුවන් හමුදා නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන නැහැ.අපි ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සාධාරණය ඉටු කරන ලෙසයි.” යැයි පැවසීය.