විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ පොදුමතය නොවන බවත් ඔහුගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති ටී. රංජිත් සොයිසා පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා විසින් පසුගියදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහර දීම අනුමත කරමින් ප්‍රකාශයක් සිදු කර තිබුණා. ඒ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය නොවේ. සයිටම් අර්බුදයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, වාසුදේව නානායක්කාර ඇතුළුව අප කණ්ඩායම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග සිටියා.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඔහු ප්‍රකාශ කළා යැයි මෙයින් පැහැදිලි වනවා. පොලුවලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම අනුමත කරමින් තමයි එම ප්‍රකාශය සිදු කළේ.
නමුත් කනගාටුවට හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුවත් වගකිවයුතු නායකයන් එම ප්‍රකාශයට විරුද්ධව අදහස් නොදැක්වීම. නමුත් අප ඒකාබද්ධ විපක්ෂය හැටියට හා ශ්‍රී ලංකා පොදු පෙරමුණ හැටියට පැහැදිලිවම කියනවා සාධාරණ ශිෂ්‍ය සටන්වලදී විශ්වවිද්‍යාල සිසුන් සමග එකට කටයුතු කර ඔවුන්ට සහයෝගය ලබාදෙන බවට" යැයිද පවසා සිටියේය.
බලන්ගොඩ - රෝහණ වසන්ත