හබ්බෙගමුව පොලීසියේ සැරයන්වරයෙකුට එම පොලීසියේම තවත් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඊයේ (12) රාත්රී අලූත්වැව කිඹින්මුල්ල හන්දියේදී පත්තුවි තුවාල ලත් සැරයන්වරයා ප්රතිකාර සඳහා කරාපිටිය මහරෝහලට මාරුකර යවා ඇති බව හම්බෙගමුව පොලීසිය පවසයි.
රෝහල්ගත කර ඇත්තේ පරණගමගේ ජයතිස්ස නැමැති සැරයන්වරයාය.
ඔහු හම්බෙගමුව බලහරුව පදිංචිකරුවෙකි.
ගිනිඅවිය පත්තුවි ඇති සැරයන්වරයා සහ තුවාලලත් සැරයන්වරයා තවත් නිලධාරියෙකු ද සමඟ හම්බෙගමුව පොලිස්ථානයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි අලූත්වැව, කිඹින්මුල්ල හන්දිය ප්රදේශයේ රාත්රී ජංගම මුර සංචාරයට ජීප් රථයෙන් ගොස් ඉන් බැස සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය පැවසුවේය.
ඒ අවස්ථාවේ ඔවුන් පැමිණි ජීප් රථයද තරමක් දුරින් නවත්වා තිබි ඇති බවද පොලීසිය පැවසුවේය. රාත්රී නවයත් දහයත් අතර දී ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනා කිඹින්මුල්ල හන්දියේ සිටියදී ඔවුන් ඉදිරියට පැමිණෙමින් තිබූ යතුරු පැදියක් ඔවුන් තිදෙනා දැක එන්ජිමේ හඬ වැඩිකර (රේස් කර) තිබේ. ඒ අවස්ථාවේ කලබලයට පත් සැරයන්වරයා ගිනිඅවිය ලෝඩ් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එය පත්තුවි අසල සිටි සැරයන්වරයාගේ කකුලට වැදී බවත් පොලීසිය සඳහන් කරයි.
එම යතුරුපැදියෙන් පැමිණ ඇත්තේ ද හම්බෙගමුව පොලීසියේම නිලධාරීන් දෙදෙනෙක් බවද පොලීසිය පැවසුවේය. තුවාලලත් සැරයන්වරයා වහාම හම්බෙගමුව ප්රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර මේ වනවිට ඔහු ගාල්ල කරාපිටිය මහරෝහලට වැඩිදුර ප්රතිකාර සඳහා මාරුකර ඇති බවද පොලීසිය පැවසුවේය.
හම්බෙගමුව පොලිස්ථානාධිපතිවරයා පැවසුවේ මෙය අත්වැරැද්දකින් සිදුවුවක් විය හැකි බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති ආර්.එම්. රාජපක්ෂ මහතා ඇතුලූ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.