යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ආගමන විගමන පාලක ජනරාල්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුයි
යුද්ධය නිසා සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය කිරීමේ සංවිධානයේ (OFERR) ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.
ශ්‍රී ලාංකිකයින් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිව සිටින බවත්, ඔවුන්ගෙන් 3800ක් පමණක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවත් මෙහිදී ප්‍රකාශ විය.
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කරයි.
ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය කිරීමේ සංවිධානයේ (OFERR) සී.එස්.චන්ද්‍රහාසන්, රාජ්‍ය පරිපාලන ලේකම් එස්.සූරියකුමාරි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන් ජෙනරාල් දෙපාර්තමේන්තුව මෙම රැස්වීමට සහභාගී විය.