ජුලි මස 20 වැනිදා සිට සයිප්‍රස් රාජ්‍යයේ තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.
ඒ අනුව තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත් කළ දූත මණ්ඩලය එළඹෙන 15 වැනිදා එරට බලා පිටව යාමට නියමිතවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ සයිප්‍රසයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලද ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත විවෘත කිරීමට තීරණය කළ බවය.මෙම කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන අතර නව රැකියා අවස්ථා සහ වෙළෙඳ ආයෝජන වැඩි කරගැනීමට කටයුතු කළ හැකි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයන් 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි. ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදු වී ඇත.