ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ සමෘද්ධි ව්‍යාපාරය මෙතරම් සාර්ථක කිරීමට සමෘද්ධි නිළධාරීන්ගෙන් නොමඳ සහයක් ලැබෙන බවයි.
2022-2024 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හදාරන සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට අද (20) සහභාගී වෙමිනි.
එහිදී සමෟද්ධි ප්‍රතිලාභී පවුල්වල සිසු සිසුවියන් 192 ක් සඳහා මාසිකව රුපියල් 1,500 බැගින් ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබිණ.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම උත්සවය සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
චන්ද්‍රිකා මැතිණියගේ සමයේදී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ රටේ දුප්පත්කම නැති කරන්නයි. ඊට පසුව බලයට පත්වුණ සෑම රජයක්ම සමෘද්ධි ව්‍යාපාරය ඉතාම ශක්තිමත්ව අඛණ්ඩව ඉදිරියට කරගෙන ගියා. සමෘද්ධි ව්‍යාපාරයේ ඒකායන අපේක්ෂාව ජනතාව ඉතිරි කිරීම්වලට පොළඹවා නව ස්ථිර ආදායම් මාර්ග විශේෂයෙන්ම ස්වයං රැකියා ජනිත කොට දුප්පත් ජනතාව ස්වශක්තියෙන් නැගී සිටීමට ධෛර්යමත් කිරීමයි. බලයට පත්වුණ සෑම රජයක්ම නිදහස් සෞඛ්‍යයට, නිදහස් අධ්‍යාපනයට මෙන්ම සමෘද්ධි ව්‍යාපාරයටත් ඉතා විශාල මුදලක් වැය කරනවා.
මේ වනවිට සමෘද්ධි ව්‍යාපාරය බැංකු ක්‍රමයක් දක්වාම වර්ධනය වෙලා තිබෙනවා. සමෘද්ධිලාභී පවුල්වල ජන ජීවිතය නැංවීමට හා එම පවුල්වල සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට ඉතා විශාල දායකත්වයක් ලබා දෙනවා. දශක දෙකකට වැඩි මාගේ දේශපාලන ජීවිතයේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යධූරය දරණ සමයේදී මම අධ්‍යාපන අමාත්‍ය හා සමෘද්ධි විෂයන් දැරැවා. ඒ විෂයන් දෙකම මම ඉතාම ආස විෂන් දෙකක්.
සමෘද්ධි ව්‍යාපාරය ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත වැඩපිළිවෙලක්. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු කරන්නෙ නැහැ. හීනෙන්වත් එහෙම හිතන්න එපා කියල අපි ජනතාවගෙන් ඉල්ලනවා. සමෘද්ධි ව්‍යාපාරය ජනතාවට සමීප කරවන්න එම වැඩසටහනේ ඉන්න නිලධාරීන්ගෙන් විශාල සහයක් ලැබෙනවා. සමෘද්ධි නිළධාරීන්ගෙන් සහයක් ලැබෙන්නෙ නැත්නම් මේ ව්‍යාපාරය මෙච්චර සාර්ථකව ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඉතාම දියුණු ශක්තිමත් සමාජ හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියා කරනවා. ඒ ගමනෙදි අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වේවි. රට දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටිනවා. නමුත් සමෘද්ධිය හා සුබ සාධන දීමනා කප්පාදු කරන්න රජය සූදානම් නැහැ. සමෘද්ධි ව්‍යාපාරය නිසා විශාල පිරිසක් සැනසීමෙන් ජීවත් වෙනවා. ජන ජීවිතයට තව තවත් ශක්තියක් ලබාදෙමින් අභියෝග හමුවේත් සමෘද්ධි ව්‍යාපාරය ඉදිරයටත් පවත්වාගෙන යෑමට රජය කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා, මිනුවන්ගොඩ සමෟද්ධි මූලස්ථාන කළමනාකාරීණී නයනා ගුණතිලක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.