සමාජ මාධ්‍ය දැන්වීම් මගින් විදේශ රැකියා වංචා වැඩිවෙලා
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ Youtube මගින් කාර්යාංශයේ කිසිඳු අනුමැතියකින් තොරව සාකච්ඡා පවත්වමින්, වංචනික කටයුතුවලට හවුල් වෙමින් සිදුකරන ප්රචාරක කටයුතු මගින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් වංචාකරන සිදුවීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදේශ සේවා කාර්යාංශය කියයි.
එම දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ දැන්වීම් බවත් ඒ සඳහා කාර්යාංශයේ අනුමැතියද ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කාර්යාංශයේ අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන නීතිවිරෝධි ප්‍රචාරනයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවල නිශ්පාදන සහකාර රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 76 කට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/30) අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු වසර 3ක් සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබා ඇති අතර, එහිදී හඳුනාගත් ආයතනයකට ශ්‍රමිකයින් යොමුකරන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇත. එසේම විදේශ රැකියා ලබාදෙන බවට ගම්පහ නීතීඥවරයෙකු ඉදිරියේ ගිවිසුම්ද අත්සන් කර ඇති නමුත් පොරොන්දු වූ පරිදි රැකියාව ලබාදී නොමැත. ඒ පිළිබඳව මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම වංචාකරු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මූල්‍ය වංචා චෝදනා යටතේ ගම්පහ අධිකරණයේ නඩු 7ක් පවතින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සැකකරු අද දින (10/31) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, බොරැල්ල YMBA වෙළඳ සංකීර්ණයේ Euro Asia Consulting නමින් උපදේශන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/30) වැටලීම් කරන ලදී. එහිදී අදාල ආයතනයේ හිමිකාරිණිය විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 33ක් ඇතුළු විදේශ රැකියා ලබාදීමට අදාළ ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.
අදාළ ආයතනය මගින් ඩුබායි, මැලේසියා වැනි රටවලට රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම මෙහෙයවා තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින (10/31) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමාජ මාධ්‍ය ඔස්සේ පළකරනු ලබන දැන්වීම්වලට අදාළව මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර අදාළ ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු බලපත්‍රයක් සහිත ආයතනයක්ද, නීත්‍යානුකූල ආයතනයක් නම් අදාළ රැකියාව සඳහා කාර්යාංශයේ අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න පිළිබඳවත් කරුණු සොයාබලන මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේම වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

