ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින බරපතල දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හේතුවෙන් සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙනුයේ පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය හා පක්ෂ නායකයින් කටයුතු කල වගකීම් විරහිතභාවය පිළිබඳව පැෆ්රල් සංවිධානය සිය කණගාටුව පළකරන බවයි.
ජනතා අරගලය ප්රජාතන්ත්රවාදී රාමුව තහවුරු කලද එයින් ගම්‍යවන්නේ පාලකයන්ගේ අසමත්භාවය බවත් මේ මොහොතේ පවතින ගැටලුවට පිළිතුරු සෙවීම ව්‍යවස්ථා රාමුව තුළ සිදුකිරීමේ වගකීම පැවරෙන්නේ ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් එම සංවිධානය සඳහන් කරයි.
එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව මෙතෙක් සමත්වී නොමැති අතර අඩු තරමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත 19, 20, 21 දිනවල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පවා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබාදී නොමැති බවත් ඒ හරහා සිදුවිය හැක්කේ මහජන නියෝජිතයින් පිළිබඳ අප්රසාදයද තවදුරටත් වර්ධනය වීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම රට බරපතල ලෙස ආර්ථික අගාධයකට ගමන් කිරීමකි. ඒ හරහා ගොඩනැගෙන සමාජ අසහනය පාලනය කල නොහැකි මට්ටමකට වර්ධනය වුවහොත් රට තුළ ප්රචණ්ඩත්වය වර්ධනයවී මනුෂ්‍ය ජීවිත අහිමි වුවහොත් සියලු දෙනාට එම වගකීමෙන් මිදිය නොහැකි වනු ඇති බැවින් මේ මොහොතේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සමස්ත පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වී මෙම ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කල යුතුව ඇතැයිද රට මෙතරම් ආර්ථික, දේශපාලන අර්බුදයක තිබියදී පාර්ලිමේන්තුව නිතිපතා රැස්නොවීම අතිශයින්ම පුදුමසහගත බවත් පැෆරල් සංවිධානය සිය නිවේදනයෙහි සඳහන් කර තිබේ.