හෙද නිලධාරීන් විසිපන්දහසකට අධික ප්‍රමාණයකට ගෙවීම් අතපසු කරන හිඟ අතිකාල මුදල් දින 14ක් තුළ ලබාදීමට කටයුතු නොකළහොත් මේ මස 21 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
එහි පළමු ක්‍රියාමාර්ගය ලෙස උතුරු මැද පළාත තුළ පිහිටි පළාත් සභා රෝහල් තුළ පැය 24ක වැඩ වර්ජනයක් දියත් කරන බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
2016 වසරේදී අතිකාල මුදල් ඉහළ දැමූ බවත්, එහෙත් එම මුදල් ගෙවීම මාස 18කට පසු ආරම්භ කළ බවත් ඔහු පවසා සිටියේය.
මේ අනුව මාස 18ක හිඟ මුදල් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළ බවත්, මෙම මුදල් උපයෝගී කරගෙන පළාත් සභා කිහිපයක හිඟ මුදල් ගෙවූ බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල සේවය කරන කිසිදු හෙද නිලධාරියෙකුට හිඟ අතිකාල ගෙවීම සිදු නොකළ බවත්, මීට අමතරව උතුරු මැද හා වයඹ පළාත් රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන්ටද මෙතෙක් හිඟ අතිකාල මුදල් ගෙවා නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම මුදල් ලබාදෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාර නොමැති හෙයින් පළාත් මට්ටමින් වැඩ වර්ජන සිදු කර, පසුව සමස්ත ලංකාවම ආවරණය වන ආකාරයට වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කළ බවද එස්.බී. මැදිවත්ත මහතා කියා සිටියේය.