අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භූමියේ තිබී ප්රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන්14 ක් හමුවී ඇති අතර, එහි කැණීම් කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා)ආරම්භ කරනු ලැබීය.
ගල් තලාවක් මත සහ ඒ අවට ප්‍රදේශයේ මෙම සුසානය පැතිර ඇති අතර එහි ථූපයක හැඩයක් ගෙන තිබූ පළමුවැනි සුසානය කැණීම අද ආරම්භ විය.
මෙම අවස්ථාවට සහාභාගි වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය.
"අම්පාර සමන්ගල සොහොන් භූමිය කියන ප්‍රදේශයේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුවිශේෂ කැණීමක් ආරම්භ කළා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයිති සොහොනක් අනාවරණය කරගෙන එය නිරාවරණය කිරීමේ කටයුතුවල අප නියැළෙනවා.
මෙම සොහොන් සංකිර්ණය තියෙන්නේ ගලක් උඩ. මේක සුවිශේෂ සොහොන් සංකීර්ණයක්. විශේෂයෙන් මේවා ශිලා මණ්ඩල නැත්නම් ගල්ගොඩක් එකතු කරලා තමයි සකස් කරලා තිබෙන්නේ. මේ සොහොන ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත්, මෙගලිතික සුසාන වර්ගයේ සොහොනක්. දැනට මේක කාර්තු හතරකට බෙදලා ඒ කාර්තු අනුව කැණීම් කරගෙන යනවා. මේ වනවිට යම් යම් දත්ත මේ සොහොන අභ්‍යන්තරයෙන් හඳුනාගෙන තිබෙනවා.
ඒ අතර විශේෂ කාරණා කිහිපයක් මෙතැනදි පැහැදිලි කළ යුතුව තිබෙනවා. මෙම ස්ථානයෙන් කාල රක්ත වර්ණ මැටි මෙවලම් හමුවී තිබෙනවා. සාමාන්‍ය මැටි මෙවලම් හමුවෙලා තිබෙනවා. එයට අමතරව වීදුරුවලින් නිර්මාණය කරපු වළලු කොටස් කිහිපයක් ද, සොහොන අභන්තරයෙන් ක්ෂුද්‍ර ශිලා මෙවලම් ද හමුවී තිබෙනවා. ”
මහාචාර්ය තුසිත මැන්දිස් මහතා තවදුරටත් මෙසේද සඳහන් කළේය.
" අම්පාර සමන්ගල ප්‍රදේශයේ ක්‍රි.පූර්ව තුන්වැනි සියවසෙන් පසුව ඉතාමත්ම දියුණු ලෙන් ආරාම සංකීර්ණයක් නිර්මාණය වෙනවා. මේ ලෙන් ආරාම සංකීර්ණය නිර්මාණය වීමේදී ඒ සඳහා පුර්ව ඓතිහාසික යුගයෙන් මූලික පදනම ලැබෙන්නට ඇති. විශේෂයෙන්ම යකඩ තාක්ෂණය පාවිච්චි කරපු, මැටි මෙවලම් නිර්මාණය කරපු, ඒ වගේම වීදුරු පබළු නිර්මාණය කරපු සංස්කෘතික යුගය, පූර්ව ඓතිහාසික යුගය වශයෙන් අප හඳුනාගන්නවා. ඒ එක්කම විවිධ සංස්කෘතික අවධිවලදී කෘෂිකර්මාන්තය, ශාක ගෘහකරණය, සත්ව ගෘහකරණය ආදි කටයුතු රැසක් ලංකාවේ සිදුවෙලා තිබෙනවා.
සමන්ගල තදාසන්න ප්‍රදේශයෙන් මේ සොහොන් සංකීර්ණයට පරිබාහිරව විවිධ සම්ප්‍රදායන්ට අයත් සුසාන රැසක් හඳුනාගෙන තිබෙනවා. ශිලා මංජුසා සුසාන රැසක්ද මේ සමන්ගල අවට කලාපය තුළින් අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම කැණීම මගින් අනාවරණය කරගන්නා දත්ත, විශේෂයෙන් ශිලා මණ්ඩල සොහොන් අභ්‍යන්තරයේ මැටි බඳුන්වල තැන්පත් කර තිබෙන අළු හෝ අඟුරු හෝ අපට හම්බවෙයි. ඒවා අප කාල නිර්ණය සඳහා ඇමරිකාවේ බීටා ඇනලයිටික් ආයතනයට යවලා කාල නිර්ණයෙන් පසු, මේ ප්‍රදේශයේ සංස්කෘතිය ඓතිහාසික යුගයේ කොයි කාලයේ ස්ථාපිත වුණාද කියන කාරණය පැහැදිලිව නිශ්චය කර ගන්න අප කටයුතු කරනවා.
ඒ වගේම තමයි අපට මෙතැනදි වැදගත් කාරණය තමයි බහු සම්පත් යැපුම් රටාව. හොඳ සමාජ පදනමක් තිබූ ජන කණ්ඩායමක් මේ ප්‍රදේශය ආශ්රයෙන් ජීවත්වුණු බවට සාධක, මේ කැණීමේ ආරම්භක පියවරවලදී හඳුනාගෙන තිබෙනවා. මේ කැණීම් අවසානයේදී අප සොයා ගන්නා වැදගත් දත්ත, අපේ රටට දෙන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
මෙම කැණීමේ සමාරම්භක අවස්ථාවට, සමන්ගල ආරණ්‍ය සේනාසනාධිපති වැල්ලම්පිටියේ සුගතරතන හිමියෝ සහ නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක අනුහස් මුණසිංහ මහතාද සහභාගී වූහ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල



