ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත් අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 09 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මුර්දු ප්‍රනාන්දු, එස්ග තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් එකඟතාවය මත මෙම පෙත්සම ජුනි මස 09 වනදා සලකා බැලීමටද විනිසුරු මඩුල්ල නියම කළේය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කර තිබු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්රිය ද සිල්වා එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කර ඇත.
සමගි බලවේගය වශයෙන් නාමයෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බව සඳහන් කර සිටින පෙත්සම්කරු සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බව සඳහන් කොට ඇත.
නිසි අවසරයකින් තොරව සිදුකළ පත් කිරීමකට අනුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන් කොට ඉදිරි මහමැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට භාර දී ඇති නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කරු අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයැද සිටියහ.