සබරගමුව පළාත් සභාව සහ British Council ඒකාබද්ධව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කරන ගුරුභවතුන් 755කට ඉංග්‍රීසි භාෂා ප්‍රගුණතා පාඨමාලාවක් ආරම්භ කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (20දා) සඳහන් කළේය.
රත්නපුර කේතුමතී උත්සව ශාලාවේදී පැවති මෙම ඉංග්‍රීසි ප්‍රගුණතා පාඨමාලාවේ ගිවිසුම්ගතවීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එම ගිවිසුමට සබරගමුව පළාත් සභාව වෙනුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් චාමර බමුණුආරච්චි මහතා ද,British Council ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති අධ්යක්ෂ Orlando Edwards මහතා ද අත්සන් කරනු ලැබීය.
මාස හයක පාඨමාලාවක් වන මෙය, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි ඉංග්‍රීසි ගුරුවරුන්හට සහභාගී වීමට හැකි වන පරිදි සකස් කර ඇත.මේ සඳහා සබරගමුව පළාත් සභාව වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 500කි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.
“භෞතික සම්පත් සංවර්ධනයට සමගාමීව මානව සම්පත සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම මාගේ අරමුණයි. ඒ නිසා සබරගමුව පළාතේ ඉංග්‍රීසි ගුරුභවතුන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කවුන්සිලය සමග ගිවිසුම්ගත වීමට මා කටයුතු කළා. ඒ සඳහා රුපියල් ලක්ෂ 500ක් මම වෙන් කළා. මෙය නියමු ව්‍යාපෘතියක්. එහි සාර්ථකත්වය මත එය දීපව්‍යාප්තව දිවයින පුරා ආරම්භ කරනවා. ලබන වර්ෂයේ මිලියන 50ක් වැය කර සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වී තොරතුරු තාක්ෂණ වැඩසටහනක් සබරගමුව පළාත් සභාව මගින් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. ඒ හරහා සබරගමුවේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්හට විශේෂ පුහුණුවක් ලබා දීමට අපි පියවර ගන්නවා.” යැයිද පවසා සිටියේය.
පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සාකල්යා සඳමාලි


