සබරගමුවේ කසළ කළමනාකරණයට ජපානයේ සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සඳහන් කළේය.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ රත්නපුර පිහිටි පළාත් සභා සංකීර්ණයේ ශ්‍රවණාගාරයේ පැවති සබරගමු පළාත් පාලන ආයතන පරිපාලන ප්‍රධානීන් අතර, පළාත් පාලන ආයතන වල කාර්ය පිළිබඳ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
සබරගමු පළාතේ රත්නපුර මහ නගර සභාව, බලංගොඩ, කෑගල්ල සහ ඇඹිලිපිටිය නගර සභා ද, ප්‍රාදේශීය සභා 25 ක් ද ක්‍රියාත්මක ය.
ඒවායේ නගරාධිපතිවරු, සභාපතිවරු ලෙස කටයුතු කළ ධූරධාරීන් ගේ ධුර කාලය 2023 මාර්තු මස 19 දිනෙන් පසු ව අවසන් විය.
ඒ අනුව සබරගමු පළාතේ පළාත් පාලන ආයතන 29 සියලු පරිපාලන කටයුතු නාගරික කොමසාරිස් සහ ලේකම්වරු විසින් ද සබරගමුපළාත් පාලන කොමසාරිස් ගේ මග පෙන්වීම යටතේ ද මේ වන විට සිදුකරයි.
ධූරධාරීන් ගේ ධූර කාලය අවසන් වූ සබරගමුවේ පළාත් පාලන ආයතන වල කාර්ය සාධනය ඉටුකිරීම පිළිබඳව කාර්යයන් 27කින් සමන්විත මාර්ගෝපදේශන සංග්‍රහයක් ද සබරගමු පළාත් සභාව මගින් සම්පාදනය කර පළාතේ සියලු පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත.
වර්ෂ 2015 සිට 2018 දක්වා වූ වසර දෙකයි මාස හයක කාලසීමාවක් සඳහා මෙවැනිම ධූරධාරීන් නොමැතිව සබරගමු පළාත් පාලන ආයතන ක්‍රියාත්මකවිය.
එහිදී එම ආයතනවල පූර්ණ පරිපාලන බලය එවකට සිටි සබරගමු පළාතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරුණ ද මේ වන විට එම ධූරය ද හිස්ව පවතින බැවින් ආණ්ඩුකාරවරයා වෙත එම බලය මුළුමනින්ම පැවරී ඇත.