ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහාත් මැතිවරණයට පෙර සන්ධානගත වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට පොරොන්දු වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර, අමාත්‍යධුර, හා ආණ්ඩුකාරධුර පොරොන්දු ප්‍රකාරව නුදුන් බවත් ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් මෙම ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව සෙනසුරාදා (02) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත්තත් එම ජයග්‍රහණයට විශාල සාධකයක් වූ සන්ධානයේ අනෙකුත් පක්ෂ වලට කෙණෙහිලකම් කරමින් එකගතා සියල්ල කඩ කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කළා’ වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවය, අවනීතිය, රජ කරනවා නම් අපි විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතුයි.
කැබිනට් මණ්ඩලයක් තිබෙනවා, විශේෂඥවරු වෙනම ඉන්නවා, මේ දෙගොල්ලන්ටම ඉහළින් වෙනමම කණ්ඩායමක් තීන්දු ගන්නවා. මේක ප්රජාතන්ත්රවාදයට බරපතළ ගැටලුවක්. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගන්න කවුරුත් විශ්වකර්මයෝ නැහැ.
බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුව තුළ ඉහලින් ඉඳන් තීන්දු තීරණ ගත්තේ. ඒ බව කවුරුත් දන්නවා. සන්ධානය තුළ අර්බුද ඇති කරන්න ඔහු මුල් වුණ. ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ඉන්පසු කොන් කළේ එතුමයි. ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා ඔහුයි. බැසිල් රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කරයිද කියලා අපි බලමු.
ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන අර්බුදයක් ඇති වෙලා. සියලුම ආර්ථික විශේෂඥයන් කියනවා විනිමය සංචිත තිබෙන්නේ මාස තුනකට පමණයි කියලා. මේ මොහොතේ ප්‍රධාන ප්‍රමුඛතාව දිය යුත්තේ කොරෝනා වසංගත කළමනාකරණය කර ගැනීමටයි. එහෙත් කණගාටුවට කරුණ නම් මේ වනවිට 70,000 කට වැඩි ප්‍රමාණයක් එන්නත් නියමිත ක්‍රමවේදයන් තොරව ලබාදී තිබෙන බව හෙළි වී තිබීමයි. එන්නත්කරණය දී දේශපාලන මැදිහත්වීම පිළිබඳව කුරුණෑගල, මොරටුව, පිළියන්දල, සිදුවීම් මගින් පැහැදිලි වෙනවා. කොළඹ සිට ගිහින් ගාල්ලෙන් එන්නත් ලබා ගන්නා ජන කණ්ඩායම් වාර්තා වුණා. සංචාරණ සීමා තිබියදී වාහන ලක්ෂයක් අධිවේගී මාර්ගයේ ගමන් කර තිබෙනවා. සල්ලි අච්චු ගසා රටේ ආර්ථිකය ගොඩ ගත හැකිද කියන ප්රශ්නය අහන්න තිබෙනවා .
හැමතැනම දූෂණය වංචාව රජකරන තත්ත්වයක් පේන්න තිබෙනවා. සීනි, එන්නත්, පොල්තෙල්, පි. සි. ආර්. සම්බන්ධව වංචා දූෂණ මතුවුණා. රටේ වංචා දූෂණ පිළිබඳ කතා වර්ධනය වෙලා. අපි මේ ආණ්ඩුව තුළ ඒක බලාපොරොත්තු වුණේ නැහැ .
දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් වෙන්න උත්සාහ කරනවා නම් නැව ගිනි ගත් අවස්ථාවේදී වෙරළ තීරයට සිදු වූ විශාල පරිසර හානිය වැනි සිදුවීම් වළක්වා ගැනීමට සූදානම් විය යුතුයි. නමුත් අද වන විට වෙරළ තීරයට විශාල පරිසර හානියක් සිදුවී තිබෙනවා. කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් මියගිහින් වෙරළ තීරයට ගොඩ ගහනව . වාරකන් නිසා මේ මරණ සිදුව තිබෙන බව ඇමතිවරු ප්‍රකාශ කිරීම බුද්ධියට නිගාවක්.
සාගර විද්‍යාඥයන් හා පරිසර විද්‍යාඥයන් කියා තිබෙනවා මරණවලට හේතුව නැවෙන් මුහුදට එකතු වූ රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා කියලා. ජල ජීවීන් විශාල සංඛ්‍යාවක් මුහුදු පත්ලේ මරණයට පත්වෙලා. අද ක්ෂුද්රජීවීන් නොමැති පොහොර ආනයනය කරන බව තවත් ඇමති කෙනෙක් කියනවා. ක්ෂුද්රජීවීන් නොමැති කාබනික පොහොර තිබෙනවාද?”
ෂේන් සෙනෙවිරත්න