සීනී බදු වංචාවෙන් රටට අහිමි වූ රු.බිලියන 35ක මුදලින් මිලියන 17.5ක ජනතාවක් එන්නත් කිරීමට හැකියාව තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව දැන් 1977ට ප්‍රථම පැවති භාණ්ඩ හිඟ හා පෝලිම් යුගය කරා තල්ලු කර තිබෙන බවත් සුපිරි වෙළෙඳ සැල්වල කුණු බක්කි වලින් ආහාර එකතු කරන ඛේදජනක තත්වය ට ජනතාව පත්ව ඇති බවත් සඳහන් කළේය.
රජය සිය නොහැකියාව හේතුවෙන් රටේ ත්‍රිත්ව අර්බුදයක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අද දුප්පත්කමේ පතුලටම කිඳා බැස ඇති නමුත් රජයේ ගජ මිතුරන්ට රජ සැප ලබාදෙන ක්‍රමයක් රජය හඳුන්වා දී ඇති බවත් ඔහු පැවැසීය.
“බොරුව හා මිත්‍යාව මතින් ආර්ථිකය කළමනාකරණය කරන්නට බැහැ, කෝවිඩ් එන්නත වෙලාවට ඇනවුම් කර තිබුණේ නම් අඩු මිලට සියලු ජනතාවට එන්නත්කරණය කර අද රට පත්වෙලා තිබෙන වැඩිම පිරිසක් දෛනිකව මිය යන තත්ත්වයෙන් රට බේරා ගැනීමට අවස්ථාවක් තිබුණා. එමෙන්ම කෝරෝනාව නිසා වැඩිම කාලයක් පාසැල් වසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි.
මේ රජය ජනතාවගේ සුඛවිහරණය සඳහා කළ දෙයක් නෑ.රජය තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලාභ පිට ලාභ ගැනීමට අවස්ථාව දෙමින් හදිසි නීතිය ද ඒ සඳහා භාවිතයට ගෙන තිබෙනවා.
යහපාලන රජය සමයේ රුපියල් තිස් පහක් ව පැවති සීනි කිලෝවක් මත වූ බද්ද දේශීය නිෂ්පාදනය වැඩි කරනවා යැයි කියමින් රුපියල් 50 දක්වා වැඩි කළා. රජය ප්‍රකාශ කළ නිෂ්පාදන ආර්ථිකය හා දේශීය කෘෂි ආර්ථිකය ව්‍යාජ බව ඔප්පු කරමින් සීනි සඳහා වූ බද්ද හිටිහැටියේම සත 25 දක්වා අඩු කර තම ගජමිතුරු සීනි ආනයන කරුවන්ට අවස්ථාව සලසා දීමෙන් අද වෙන තෙක් රජයට රුපියල් කෝටි 3500 බදු ආදායම් අහිමි කර තිබෙනවා. දූෂිතයන්ට එයින් වාසි අත්වන බව පැහැදිලියි.
සත 25 දක්වා සීනි බද්ද අඩු කිරීමෙන් පසු වසරකට අවශ්‍ය ප්‍රමාණයක් සීනි ආනයනය කළේ රුපියල් අසූ පහක පාලන මිලට අලවි කිරීම සඳහායි. එහෙත් මේ රජය හදිසි නීතිය හුවා දක්වමින් රුපියල් අසූ 85/ පාලන මිල රු 122 දක්වා වැඩි කර පාරිභෝගිකයාව රැවටීමට ලක් කරලා.
කොරෝනාව සහ ආර්ථික අර්බුද මදිවට රජය දැන් වැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් රටේ ත්‍රිත්ව අර්බුද පැන නැගී තිබෙනවා. ඒ මගින් ඉදිරියේදී රටේ අපනයන ආර්ථිකයට ද බලවත් හානි සිදු වීමට ඉඩ තිබෙනවා”