ශ්‍රී ලංකාවේ සිදුවන සෑම මරණ පහකින් හතරක්ම සිදුවන්නේ බෝනොවන රෝග හේතුවෙන් බව බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.
හෙතෙම මේ බව සඳහන් කළේ බෝනොවන රෝග කාර්යාංශය මගින් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මරණ 138,000ක් පමණ සිදුවන අතර, එම සෑම මරණ පහකින් හතරක් සිදුවන්නේ දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය, අංශභාගය, හෘදරෝග, ශ්වසන රෝග හා වකුගඩු රෝග ආදී බෝනොවන රෝග හේතුවෙන් බව සමීක්ෂණවලින් අණාවරණය වී තිබේ.
මෙම මරණ පහකින් එකක් වයස අවුරුදු 18-60 අතර ශ්‍රම බලකායට සක්‍රීයව දායක වන අයෙකුගේ අකල් මරණයක් වීම මෙහි ඇති අහිතකර තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.