යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා කළද එම චෝදනාවලින් ඔහු නිර්දෝශී වී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් සහ විගණන දෙපාර්තමේන්තුවේ විගණන විමසුමෙන් මේ බව ඔප්පු වී ඇති බව අද (27දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා හොරෙක් බවට චෝදනා කළ අනුර කුමාර දිසානායක මහතාට දේශපාලනයෙන් සමුගන්නා ලෙස පවසන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා,
"මේ රටේ බලයට එන්න හොර ෆයිල් හදාගෙන හොර ගනුදෙනු සිද්ධ කරගෙන තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් පෙනී සිටින දේශපාලන කඳවුරක්. එයාලා හරි නම් අද ගෙදර යන්න ඕන. එයාලගේ දේශපාලනය නැති වෙන්න ඕන ඇයි? සජිත් ප්‍රේමදාස මහත්තයට සංස්කෘතික අරමුදලෙන් මහා දැවැන්ත මූල්‍ය වංචාවක් කරා කියලා මුදල් අවභාවිතය කරා කියලා ෆයිල් එකක් හදා ගත්තා.
ඒක අල්ලස් එකට භාර දුන්නා අපි දන්නවා ඔය ෆයිල් එක හැදුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යහපාලන ආණ්ඩුවේ සංස්කෘතික අරමුදලේ මුදල් අයථා ලෙස පාලනය කරා කියලා කියන්න ජනාධිපති කොමිසමක් දැම්මා. එදා යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ෆයිල් එක හදලා ජනාධිපති කොමිසමකට දීලා ඒ ෆයිල් එකේ පිටපතක් අනුර කුමාර දිසානායක මහත්තයාට දුන්නා. ඒ මහත්තයා මේක පෙන්නලා කිව්වා මහින්ද මහත්තයා විතරක් නෙවෙයි ප්‍රේමදාස මහත්තයාගේ පුතා සජිත් ප්‍රේමදාස මහත්තයත් මේ රටේ ජනතාවගේ සල්ලි විනාශ කරලා තියෙනවා කියලා.
ඒ නිසා අද අල්ලස් එකෙනුත් විගණන දෙපාර්තමේන්තුවේ විගණන විමසුමෙනුත් ඔප්පු කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා නීත්‍යනුකූලව මේ රටේ ජනතාවගේ මුදල් භාවිත කරා ශාසනය රකින්න, ශාසනය ආරක්ෂා කරන්න කටයුතු කරපු නායකයෙක් කියලා.
ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයට අපි කියනවා දේශපාලනය සමුගන්න. මොකද ඔබලා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයා හොරෙක් මේ රට විනාස කරා කියලා. අද පොදුජන පෙරමුණේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සියලු නිලධාරීන්ට කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා හොරෙක් කියන්න ලේබල් එක ගැහුවට අද එතුමා නිර්දෝශී වෙලා තියෙනවා" යනුවෙන් සඳහන් කළේය.