පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට පක්ෂයේ නීතිඥ කණ්ඩායමට භාර දී තිබෙන බවත්, ඒ අනුව විනය කඩ කළ ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥයන්ට උපදෙස් ලබා දී ඇති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය හැර නොයන බවට දැනුම් දී ඇති බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද පැවසීය.
"මීළඟ ජනාධිපතිවරණයේ අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී යෝජනා ස්ථීර කර ගත්තා ඒකමතිකව. ජනාධිපතිවරණය ලබන අවුරුද්දේ පැවැත්විය යුතුයි. ඒ සඳහා මැතිවරණයට ලෑස්ති වෙන්න ඕනෑ. අවශ්‍ය සංවිධාන කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාඅපේක්ෂකයා ලෙස තෝර ගන්න අපි තීන්දු කළා.
සෙසු පක්ෂවලත් අපට කිසිදු ප්‍රශ්නයක් නෑ. ගිය ජනාධිපතිවරණයේදීත් එතුමා ඉදිරිපත් කරද්දි සියලු පක්ෂ අපට සහයෝගය දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉද්දි නම් කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා ප්‍රශ්නයක් තිබුණා. එතුමා ඉදිරිපත් වුණේ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් දානවා කියලා ඒකේ මහලේකම් කියනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණ අපේක්ෂකයා කියලා කියනවා. එතන තවම එකඟත්වයකට ඇවිල්ලා නෑ. ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුණත් අපට ප්‍රශ්නයක් නෑ.
ඒ වගේම පක්ෂයට එරෙහිව යන අයට විනයානුකූලව කටයුතු කරනවා කියලා අපි තීරණය කරලා තියෙනවා. ඊයේ දිනයේදීත් අපේ සාමාජිකයෝ යෝජනා කළා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න "
ප්රශ්නය - ෆවුසි මන්ත්‍රීතුමාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා කියනවා. ඒක කොහොමද කරන්නේ?
පිළිතුර - එතුමා පක්ෂයේ තීන්දුවට විරුද්ධව පාර්ලිමේන්තුවේදී අනිත් පැත්තට ඡන්දය දුන්නා. එතුමාගේ පක්ෂ සමාජිකත්වය දැන් තහනම් කරලා තියෙනවා. අපේ පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයාට බලය තිබෙනවා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේ නීතීඥයන්ට උපදෙස් දීලා තියෙනවා.
ප්රශ්නය - මේක අත්වැරදීමකින් වුණා වගේ තමයි එතුමා කතා කරන්නේ?
පිළිතුර - ඒක එතුමාට විනය මණ්ඩලයේදී විනය පරීක්ෂණය කිරීමේදී කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා එක එක වෙලාවට එක එක දේවල් කියනවා. දැන් අවුරුදු 85ක් විතර වෙනවානේ.
ප්රශ්නය - වඩිවෙල් මන්ත්රීතුමත්, හරීන් මන්ත්රීතුමත් අරතර මොකක්ද මේ වෙන ගනුදෙනුව?
පිළිතුර - අපේ වෘත්තීය සමිතියේ වතු කම්කරු සංගමයේ සභාපති හරීන් ප්‍රනාන්දු. ලේකම් වඩිවෙල්. දෙන්නා එක දිස්ත්‍රික්කයේ. යම් යම් යාළුමිත්රකම් ඇති. හිතවත්කම් ඇති. නමුත් එතුමා පක්ෂය දාලා යන්නේ නෑ කියලා අපිත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා.