සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදු නොවන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
එලෙස වෙනසක් සිදු කරන බවට මාධ්‍ය හා සමාධ්ය මාධ්‍යවල පළ වන පුවත් සම්බන්ධයෙන් අද (13දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“සමගි ජන බලවේගයේ නායකත්වය, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයට වඩා හොඳ ප්‍රතිඵලයක් පළාත් පාලන මැතිවරණයේදී ලැබුණා. ඒක අපිට ආඩම්බර වෙන්න ඕනෑ ප්‍රතිඵලයක් නෙවෙයි. නමුත් සාපේක්ෂව හොඳ ප්‍රතිඵලයක්. ඊළඟට අපිට ලැබෙන්නේ පළාත් සභාප මැතිවරණය. ඊළඟට ජනාධිපතිවරණය සහ පසුව පාර්ලිමේන්තු මැතිවරණය. ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී සමගි ජන බලවේගයට තනි පක්ෂයක් ලෙස නැගී සිටින්න පුළුවන්. මෙවර අපේ සභිකයන් 1700කට ලංකාව පුරා නියෝජිතත්ත්වය ලැබිලා තියෙනවා.
මේ දේශපාලන පසුබැසීම සජිත් ප්‍රේමදාස මහතා නිසා ඇතිවුණ එකක් නෙවෙයි. කලින් බලයේ හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අසාර්ථක වෙලා, රට බංකොලොත් කරලා පැනලා ගියාම රටේ මිනිස්සු කල්පනා කළා අලුත් බලවේගයකට, මීට කලින් දේශපාලන බලය දරපු නැති කණ්ඩායමකට බලය දෙන්න ඕනෑ කියලා. ඒ රැල්ල නිසා තමයි අපි පරාජයට පත් වුණේ. අපි දකින්නේ නෑ මේක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රශ්නයක් ලෙස. එහෙම සාකච්ඡාවක් පක්ෂේ ඇතුළෙත් නෑ. පක්ෂය ඇතුළේ පරිපාලනමය වශයෙන් වෙනස්කම් කරන්න සිදු වෙයි. ඒක කරන්න ඕනෑ. අපි වාර්ෂිකව ඒක කරනවා. ඒවා ඉදිරියේදී සිදු වෙයි. ”