ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අධ්‍යයනය කර වාර්තාවක් ලබාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත්කර සති දෙකකට ආසන්න කාලයක් ගතවුවද, මේ දක්වා එම කමිටුව රැස්වී කිසිවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය.
මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විද්වත් කමිටුවට රැස්වීම සඳහා කාර්යාලයක් සහ එම කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර නොමැති වීම මෙම ප්‍රමාදයට බලපා ඇතැයි ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු ඇතුළත් කරමින් පත් කළ මෙම විද්වත් කමිටුවේ අධ්‍යයන වාර්තාව සති දෙකක් ඇතුළත ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරම්භයේදී තීරණය කර තිබුණු බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
එම වාර්තාව හා දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සියල්ල අධ්‍යයනය කර සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
විද්වත් කමිටුවෙන් කැඳවීමක් ලැබෙන්නේ නම් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බවද ඔහු කීය.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මතු වූ සමාජ විරෝධය යටපත් කිරීම සඳහා ගත් සටකපට උත්සාහයක් ලෙස මෙම විද්වත් කමිටුව හඳුන්වාදිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.