ආගමික සංහිදියාවට හෝ ජාතින් අතර සමගියට බාධාවන ආකාරයට ප්‍රකාශ සිදුකරන පුද්ගලයන් පිළිබඳව පැමිණිලි ලැබුණ හොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් ස්ථානයක් විසින් අදාළ විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙතෙක් ලැබුණු පැමිණිලි පිළිබඳව විමර්ශන සිදුකර තිබෙන බවත්, ඉදිරියේදීත් මේ ආකාරයේ පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඒපිළිබඳව විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
විමර්ශනයෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන බවත්, ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ලබාදී තිබුණත් කටයුතු කළ යුත්තේ පවතින සීමාවන් තුළ බවත්, මේ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් ජනතාව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන්කළේය.