සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් බවත් 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බවත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තව ද, මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව බවත් ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා, එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇතැයිද අධ්‍යාපනය අමාත්‍යාංශය දන්වා සිටියි.
ඉන්පසු ගුරුවරුන් විශ්‍රාමයාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇති බවත් විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම බඳවාගැනීම් මගින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවාගැනීමට බලපෑමක් සිදු නොවන බවත් එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ලබන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.