ශ්‍රී ලංකාවේ ප්රකාශනයේ නිදහස රුසියාව සීමාකරන බවට චෝදනාවක්
ශ්‍රී ලංකාවේ දැනට පැවැත්වෙන ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයෙන්, රුසියාව විසින් දියත් කර ඇති යුක්රේනයේ යුද්ධයට අදාළ ඡායාරූප ඉවත් කරන්නැයි බලකිරීම මගින් ශ්‍රී ලංකා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්රකාශනයේ නිදහස ප්‍රතික්ෂේප කිරීමට කොළඹ රුසියානු තානාපති කාර්යාලය දරණ උත්සාහයන් කෙරෙහි අවධානය යොමුවී ඇති බව මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
2025 ලෝක ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සහ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝර් විසින් පසුගිය පෙබරවාරි 27දා කොළඹ වන් ගෝල්ෆේස් හිදී නිල වශයෙන් විවෘත කර තිබේ. එය මාර්තු 13 සිට 17දා දක්වා මහනුවර සහස් උයනේදීද පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, පසුගිය මාර්තු 7 සහ 8දා එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති රුසියානු තානාපතිවරයා යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට අදාළ ඡායාරූප එම ප්‍රදර්ශනයෙන් ඉවත් කරන්නැයි බලකර ඇති බවත්, සංවිධායකයන් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඊට එරෙහිව විරෝධතාවක් සංවිධානය කරන බවත් සඳහන් කර ඇතැයි නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
එම බලකිරීම තවදුරටත් ඉදිරියට ගෙනයමින්, රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින්ද මහනුවර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයේ මීළඟ අදියරෙන් එම ඡායාරූප ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දැනට ඇමෙරිකාවේ සහ ජර්මනියේද පැවැත්වෙන බවත්, ප්රකාශනයේ නිදහස ඇති ලොව පුරා තවත් රටවල් රැසක එය ප්‍රදර්ශනය කෙරෙන බවද සඳහන් කරයි.
මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නෙදර්ලන්තයේ ලෝක ජනමාධ්‍ය ඡායාරූප පදනම සමග එක්ව සංවිධානය කරනු ලබන්නේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
