වර්ෂ 2020දී ශ්‍රී ලංකාව තුළ ඛනිජ කලාප ගැසට් කර අදාල කලාපවල ජනාවාස ඉදිකිරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.
එම කාර්යාංශය සඳහන් කරන්නේ රටේ සංවර්ධනයට තිරසර ලෙස ඛනිජ සැපයීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව සිය දැනුම හා නවීන තාක්ෂණය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ නිධි ගවේෂණය සඳහා ක්රමානුකූල හා විධිමත් ව්‍යාපෘතියක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මේ වනවිට දියත් කර ඇති අතර, ඊට සමගාමීව මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ කැණීම් කලාප වෙන් කර හඳුනාගැනීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කර සිටියේ මේ වනවිට සොයාගෙන ඇති ඛනිජ නිධි කිහිපයක ආර්ථිකමය වශයෙන් කැණීම් සිදු කිරීම සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී ඇති බවයි.
සේරුවිල යකඩ හා තඹ නිධිය ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බව කී සභාපතිවරයා, කෙසේ වුවද අදාළ කැණීම් බලපත්‍ර තම කාර්යාංශයට ස්වාධීනව නිකුත් කිරීමේ හැකියාවක් නැතැයිද පෙන්වා දුන්නේය.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ ප්‍රාදේශිය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ටෙන්ඩර් පටිපාටියක් මගින් විනිවිදභාවයකින් යුක්තව බලපත්‍ර නිකුත් කළ යුතු බවටද හෙතෙම වැඩිදුරටත් පෙන්වා ප්‍රකාශ කර සිටියේය.
