ශ්‍රී ලංකාවෙන් නව කූඩලු විශේෂයක්
කෑගල්ල, කිතුල්ගල පිහිටි මන්නකැත්ත ඇල්ල ආශ්රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව කූඩලු ශාක විශේෂයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇත. එය විද්‍යාත්මකව Impatiens yakandawalarum ලෙස නම් කර තිබේ. එයට කිතුල්ගල කූඩලු ලෙස සිංහල භාෂාවෙන් හඳුන්වාදී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ උද්භිද විද්‍යා ක්ෂේත්රයේ විද්වතුන් දෙපළක් වන වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතාට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මියට ගරුකිරීමක් වශයෙන් I. yakandawalarum යන නාමය මේ සඳහා භාවිත කෙරේ.
‘බෝල්සම්’ (Balsam) ශාක කුලයට අයත් මෙම නව විශේෂය සඳහා සිංහල භාෂාවෙන් “කිතුල්ගල කූඩලු” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Kithulgala Balsam” ලෙසත් පොදු නම් ලබා දී ඇත.
සලානි ගුණරත්න විසින් ලබාගත් ඡායාරූප කිහිපයක් නිරීක්ෂණය කළ පර්යේෂක පේෂල පසන් කරුණාරත්න සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක භාතිය ගොපල්ලව ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණ මඟින් මෙය මීට පෙර විද්‍යාත්මකව විස්තර කර නොතිබූ නව විශේෂයක් බව තහවුරු කරගෙන තිබේ.
බොහෝ Impatiens විශේෂවල දක්නට ලැබෙන උල් කොටසක් හෙවත් ‘ස්පර්’ (spur) වෙනුවට උල් රහිත මල් පැණි ග්‍රන්ථියක් පැවතීම මෙම ශාකයේ සුවිශේෂී ලක්ෂණයක් වන අතර, තෙත් පාෂාණ සහ ගස් මුල් ආශ්‍රිතව වැඩෙන මෙම ශාකය සෙන්ටිමීටර 2ක පමණ තද රෝස පැහැති මල් හටගන්වයි.
මෙම නව සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන Impatiens ශාක විශේෂ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් විශේෂ 19ක්ම මෙරටට ආවේණික ඒවා වේ. මෙම අධ්‍යයනයට අදාළ පර්යේෂණ වාර්තාව 2026 සැප්තැම්බර් 30 වන දින Ceylon Journal of Science සඟරාවේ පළ කර ඇති අතර, මෙවැනි දුර්ලභ ශාක ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැදගත්කම ද පර්යේෂකයෝ අවධාරණය කරති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
