ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුද වලින් ඉතා ඉක්මනින් ගොඩ එනු ඇති බවත් ඒ සඳහා චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බවත් චීන තානාපති චී ෂෙන්හොං මහතා පවසයි.
මහනුවර චන්දානන්ද බෞද්ධ බාලක හා බාලිකා විදුහල්වල වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් චීන තානාපතිවරයා ඒ බව අවධාරණය කළේය.
නිදහසෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බවත් සංචාරකයන් මෙන්ම ආයෝජකයන් රටට පැමිණීම ආරම්භ වීමත් සමඟ ආර්ථික වර්ධනය මෙන්ම සමාජ ස්ථායිතාවය ඇති වීමට පසුබිම සැකසෙනු ඇති බවත් ෂැංහොංග් මහතා එහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ වන විට චීන සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් ඉදිරියේ දී එය තවත් වර්ධනය වනු ඇති බවද පැවසීය.
ශ්‍රී ලංකාව අසීරුතාවයට පත්වු සෑම අවස්ථාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ද පෙර පරිදිම චීන රජය උදව් උපකාර කරන බවත් පැවසීය.
රටක අනාගතය තීරණය වන්නේ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය මත බවත් චන්දානන්ද බෞද්ධ විද්‍යාලය මූලික වී සිසුන්ට හා සිසුවියන්ට බෞද්ධ දර්ශනය මත පදනම් ව ලබා දෙන අධ්‍යාපන අගය කරන බවද තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ද චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ අස්ගිරි පාර්ශවයේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ගොඩගම ධම්මකිත්ති යන හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූූහ.