හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පැයකට 35 වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බව අද අධිකරණයේදී හෙළිවිය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබාගැනීමට නීතිඥවරු ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු අනුව මෙම කරුණද දැක්වීය.
කෙසේ වෙතත් සැකකාර හිටපු අමාත්‍යවරයා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.
මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය අරගල සමයේදී ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000ක මුදලක් වන්දි වශයෙන් ලබාගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.