ශිෂ්‍යත්ව විභාගයට සිසුන් පිළිතුරු ලියූ ආකාරය ගැන හෝ විභාගයට ලියූ පිළිතුරු ගැන අනවශ්‍ය විමසීම් හා බලපෑම් කරමින් අනවශ්‍ය විමසීම් හා බලපෑම් කරමින් අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන ලෙස තමන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.
“විභාගය ඔබගේ දැනුම මැන බැලෙන එක් සුවිශේෂ ඇගයුම් ක්‍රියාවලියකි. එහෙත් මෙහිදී දරුවන්ගේ සියලු දැනුම හා හැකියාවන් විභාගය තුළින් මතුකර පෙන්වන්නට දී හැකියාව නොලැබෙයි.
එහෙත් දෙන ලද කාලසීමාවක් තුළ විෂය දැනුම ආශ්‍රිතව නිශ්චිත ව විමසා සිටින ප්‍රශ්න සමූහයකට පිළිතුරු සැපයීමේ අභියෝගයට දරුවන්ට මෙහි දී මුහුණ දෙන්නට සිදුවෙයි. කාල කළමනාකරණය, කාර්යක්ෂමතාව, අභියෝගවලට නොසැලී මුහුණ දීමේ ආත්ම විශ්වාසය, මතක ශක්තිය මේ හරහා පරීක්ෂා කෙරෙයි.
විෂය දැනුමින් ඉතා පොහොසත් ඇතැම් දරුවන්ට විභාග දැනුම අල්ප වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල මඟහැරී යයි. විභාග දැනුමත් විෂය දැනුමත් සමබර වූ දරුවන් විශිෂ්ට සාමාර්ථ අත්පත් කරගනියි. කෙසේ වෙතත් විභාග යනු දරුවන්ගේ ජීවිත තීරණය කරන එකම සාධකය නොවන බව විශේෂයෙන් ම වැඩිහිටියන් අවධාරණයට ගත යුතුය.
මේ නිසා ම දරුවන් විභාගය ලියා අවසන්ව නිවසට පැමිණි පසු ඔවුන් පිළිතුරු සැපයූ ආකාරය ගැන, විභාගයට ලියූ පිළිතුරු ගැන අනවශ්‍ය විමසීම් හා බලපෑම් කරමින් අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන මෙන් සියලු මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නට ද මෙය අවස්ථාවක් කරගනිමි.
පහේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ මුල් සතිය තුළ ම පවත්වන්නට ජාතික මට්ටමින් තීරණය කළ එක් හේතුවක් වූයේ ද දරුවන්ගේ පාසල් නිවාඩු කාලය නිදහසේ ගත කරන්නට විභාගයෙන් අනතුරුව ඉඩ සැලසීමයි.”