ශරීර උෂ්ණත්වය වැඩි අයෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව පොලිස් නිලධාරීන්ට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඇඳිරි නීතිය ඉවත් කළත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සමාජ දුරස්තභාවය තබා ගැනීම වැදගත් වෙනවා. ප්‍රවාහන සේවා ලබාදෙන අයගෙන් ඉල්ලා සිටිනවා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.
සියයට 50 සීමාවට වඩා මගින් ගෙනියන්න එපා. මගියෙක් රථයකට ගොඩනැගූ විට සමාජ දුරස්ථභාවය තබා ගැනීමට නොහැකිනම් ඊළඟ රථය එනකම් ඉන්න.
කාර්යාලවල නියම කර ඇති සේවකයන් යොදාගෙන කටයුතු කරන්න. අදාළ ස්ථාන පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
ශරීර උෂ්ණත්වය මැන බලන උපකරණ තබාගන්න. ශරීර උෂ්ණත්වය වැඩි අයෙක් ඉන්නවා නම් පොලිස් නිලධාරීන්ට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්න.
අත්‍යාවශ්‍ය සේවා හා සුවිශේෂී කටයුතු හැරෙන්නට සෙසු දිස්ත්‍රික්ක අතර ගමන් කරන්න බෑ.
මාර්ග බාධක 944ක්, දිස්ත්‍රික් මායිම් පරීක්ෂා කිරිමට මාර්ග බාධක 262ක් යොදවා තිබෙනවා. හැම අවස්ථාවකම මහජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා.
මේ රටේ ජනතාවගෙන් බහුතරය අවවාද පිළිගෙන කටයුතු කරනු ලැබුවා. නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් පොලිස්පතිට බලය පවරා තිබෙනවා ඇඳිරි නීතිය නොමැති අවස්ථාවක කටයුතු කිරිමට.
සෞඛ්‍ය උපදෙස් පිළිපදන්නේ නැත්නම් අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව තිබෙනවා.”