මෙවර (2019/2020) ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පෝය (11) වෙනි දින සිට ආරම්භ වන බව ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
ශ්‍රීපාද අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත්කර ඇති ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය, සධාතුක කරඬුව හා දේවාභරණ දොරට වැඩම කිරිම ශ්‍රීපාද නායක හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් මත, චාරිත්රානූකුලව මෙම මස (09) වෙනි දින සිදු කෙරේ.
ලබන (10) වෙනි දින අලුයම යෙදෙන සුභ නැකත් අනුව ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ සුභ නැකත් අනුව ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවිම සිදු කරනු ලබන්නේ පෙර වසරවලදී මෙන්ම පෙරහැරවල් තුනක් ලෙසය.
එක් පෙරහැරක් පැල්මඬුල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල, ගින්ගත්හේන, හැටන්, නොර්වූඩ්, මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ්‍රීපාදස්ථානය දක්වාත්, අනෙක් පෙරහැර රත්නපුර, එරත්න මාර්ගය හරහා ශ්‍රීපාදස්ථානය දක්වාත්, අනෙක් පෙරහැර බලංගොඩ, බගවන්තලාව, නොර්වුඩ් මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ්රීපාස්ථානය දක්වාත් වැඩම කිරීම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදු කෙරේ.
උඳුවප් මස පුන් පෝය (11) වන දින අලුයම යෙදෙන සුභ නැකත් අනුව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මලුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කිරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ප්‍රථම ශ්‍රීපාද පත්ම පූජාව පැවැත්විමෙන් පසුව සිරිත් පරිදි ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වේ.
මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී ප්ලාස්ටික්, පොලිතීන් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය පුදබිමට ගෙන ඒම හා භාවිතය සපුරා තහනම් කර ඇත.