පවතින ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන , පැමිණ සිටීමේ හා නිදි බාධක දීමනාව රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය විරෝධවක් නොමැති මුත් පවතින තත්ත්වය හමුවේ හෙද සේවාවට ලබාදෙන විශේෂ රාජකාරී දීමනාවද රුපියල් 35,000 කින් ඉහළ නැංවීමට රජය පියවර ගතයුතු බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
එම සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ , ඉහළ වැටුප් ලබන වෛද්‍යවරුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජය පිළිගෙන ඇති බැවින් උද්ධමනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන වෘත්තික කණ්ඩායමක් වන හෙද කාර්ය මණ්ඩලය නොසලකා හරිමින් , රජය වෛද්‍යවරුන්ට පමණක් ආර්ථික යුක්තිය සැලසීමට කටයුතු කිරීම බරපතල ගැටලුවක් බවය.
විවිධ දුෂ්කරතා දරා ගනිමින් වෘත්තීය අයිතීන් දිනා ගැනීමේ අවස්ථා පවා කැප කරමින් වගකිවයුතු වෘත්තීය කණ්ඩායමක් ලෙස රටේ ජනතාවට අපේක්ෂිත සේවාවන් සැලසීම සඳහා තවදුරටත් සිදු කරන කැපවීම අවතක්සේරු කිරීම පිළිබඳව හෙද සේවයෙහි බලවත් අප්රසාදයපළ කරන බවත් පවතින තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර හෙද සේවයට ලබාදෙන විශේෂ රාජකාරී දීමනාව රුපියල් 35,000 කින් ඉහළ දැමීමට රජය තීරණය නොගන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
තිලකරත්න දිසානායක