වෙසක් සමයේ සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන්, ප්ලාස්ටික් එපා
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.
වෙසක් සමයේ වෙසක් පහන්කූඩු ඇතුළු විවිධ සැරසිලි සඳහා ද විනෝදාස්වාදය සඳහා භාවිත කරන විවිධ මෙවලම් සඳහා ද දන්සැල් වැනි පුණ්‍ය ක්‍රියා සිදුකිරීමේ දී ද පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිර්මිත ද්‍රව්‍ය භාවිත කරනු නිරීක්ෂණය වී තිබේ. දන්සැල් සංවිධාන කිරීමේ දී පොලිතීන් ලන්ච්ෂීට්, තනි භාවිත කෝප්ප, පිඟන්, හැදි, ගෑරුප්පු සහ කලතන ආදී ද්‍රව්‍යය ද පොලිතීන් ඉටිකොළ ද භාවිත කරනු දැක ගත හැකි වේ.
2341/30 දරන 2023 ජූලි මස 19 වැනි දිනැති ගැසට් පත්‍රය මගින් පුළුල් කරන ලද පොලිස්ටියරින් ආහාර බහාලුම්/පෙට්ටි, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, කලතන සහ ප්ලාස්ටික් මල්මාලා යන තනි භාවිත අයිතම ඇතුළු තවත් තනි භාවිත අයිතම ගණනාවක් ද 2034/34 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුව පොලිතීන් ආහාර දවටන එනම් පොලිතීන් ලන්ච්ෂීට් ද විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇති අතර නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
එලෙසම, අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින් හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙලෙස, විවිධ පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කර ඇත්තේ මිනිසුන් සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසරය ම රැකගැනීමේ අරමුණ ඇතිව ය. පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට අක්‍රමවත්ව බැහැර කිරීම මගින් ඇළ, දොළ, ගංගා, සාගර ඇතුළු ජල දේහ අපවිත්රවීම; පොලිතීන් සහ ප්ලාස්ටික් කසළ ආහාරයට ගැනීම මගින් හෝ ශරීරයේ විවිධ කොටස්වල රැදීමෙන්, ඇමිනීමෙන් හෝ ඇනීමෙන් සතුන්ට හානි පැමිණීම; මයික්‍රො ප්ලාස්ටික් පරිසරයට එක්වීම මඟින් ආහාර සහ ජලය, ඔස්සේ හෝ ස්වසනයේ දී ශරීරගතවීමෙන් හෝ මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවට විවිධ සෞඛ්‍ය සංකූලතා ඇතිවීම; පොලිතීන් සහ ප්ලාස්ටික් කසළ විවෘත පරිසරයේ දහනය මගින් විෂ වායු පරිසරයට එක්වී සෞඛ්‍ය සංකූලතා ඇතිවීම ඇතුළු බොහෝ ගැටලු ඇතිවේ.
තවද, ප්ලාස්ටික් සහ පොලිතීන් කසළ මගින් ජෛව විවිධත්වයට මෙන් ම පරිසරයේ සමතුලිත බව පවත්වා ගැනීමට සෘජුව සහ වක්‍රව සෘණාත්මක බලපෑම් ඇති කරයි. එබැවින් වගකීමක් කොට සළකා හැකි සෑම අවස්ථාවක දී ම පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් ය.
සියලු සත්ත්වයන්ගේ සුව සෙත පිණිස ම කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් සමයේ, මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයට හානි සිදු නොකරමින්, පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් නිර්මිත අයිතම භාවිත කිරීමෙන් වැළකී ඒ සඳහා පරිසර හිතකාමී විකල්ප භාවිත කරන ලෙසත් යම් හෙයකින් පොලිතීන් සහ ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුවහොත් ඒවා නිසි ලෙස බැහැර කරන ලෙසත් පරිසර හිතකාමී ලෙස වෙසක් උත්සවයේ සැමරුම් කටයුතු සිදුකරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
