ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හත්වන අධ්යක්ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් පූජිත විතාන 2022 ඔක්තෝබර් මස 17 දින සිට පත් කෙරුණු අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2022 ඔක්තෝබර් මස 28 වන දින ආරක්ෂක අමාත්‍යංශයේදී ඔහු වෙත නිල වශයෙන් ප්රදානය කිරීම සිදු කෙරිණි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් පූජිත විතාන, 1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.
ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර 1990 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්ෂණික පාඨමාළාව 1991 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, දියයට සංග්‍රාමික අවි සම්බන්ධ විශේෂඥතාව 2000 වර්ෂයේදී පාකිස්ථානයේ කරච්චි හී පිහිටි දියයට සංග්‍රාමික පුහුණු පාසල වෙතින් ලබා ඇත. ඔහු ක්රමාණුකූලව උසස්වීම් ලබමින් 2022 වර්ෂයේ ජුලි මස 09 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, නාවික අණභාර නිලධාරී හම්බන්තොට සහ හම්බන්තොට වරාය පහසුකම් ආරක්ෂක නිලධාරී, අධ්යක්ෂ නාවික පරිපාලන, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්ෂක නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, රියර් අද්මිරාල් පූජිත විතාන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත්වීමට පෙර එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ වශයෙන් කටයුතු කරන ලදී.
