අධ්යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස අමාත්‍යාංශයට දන්වයි
- කැඳවීමක් ලබාදී තිබියදී කමිටුව මඟහරිනලද හිටපු සභාපතිවරයා නැවත කැදවීමටත් තීරණයක්
- එවැනි පුද්ගලයන් රාජ්‍ය අංශයේ තනතුරු සදහා යළි පත් නොකරන ලෙසටත් ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට දන්වා සිටීමටත් තීරණය කෙරේ
- මූල්‍ය අධ්යක්ෂ ඇතුළු ආයතනයේ ප්‍රධාන තනතුරු 7 ක්ම පුරප්පාඩුව පවතින බවත් අනාවරණයක්
- නව අධ්යක්ෂ ජනරාල්වරියක් පත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් උපදෙස්
- අධිකාරියේ අරමුණට පරිබාහිරව සිදුකර ඇති කටයුතු පිළිබඳවත් කමිටුවේ දැඩි අවධානය
2023 මාර්තු 23 වැනිදා පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සදහා වෘත්තීය පුහුණු අධිකාරිය 2023.05.09 වැනිදා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ කෝප් කමිටුවට කැඳවා තිබිණි.
මෙහිදී විගණකාධිපතිවරගේ නිරීක්ෂණ අනුව පහත සදහන් කරුණු කෙරෙහි කමිටුවේ මූලික අවධානය යොමු විය.
අධ්යක්ෂ ජනරාල්වරිය අනීතිකව අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු වැරදි පරිපාලන තීන්දු පිළිබඳ හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සහ අධිකාරියේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටීම
හිටපු සභාපතිවරයා විසින් වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය නීත්‍යානුකූල නොවන ලෙස අනිවාර්ය නිවාඩු යැවීම කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. අධ්යක්ෂ මණ්ඩල තීරණයක් නොමැතිව මෙය සිදු කර ඇතිබවත් තවත් තනතුරු 10 ක අදාළ පුද්ගලයන් රාජකාරියක් නොමැතිව මාරු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.
මෙම සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා රජයට හා ආයතනයට විශාල මූල්‍ය පාඩුවක්ද සිදුව ඇතිබවත් අධිකාරියේ පරිපාලනය ඉතා බරපතල තත්ත්වයකට වැටී ඇති බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ අමාත්‍යාංශයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බවත් මෙම විෂය සම්බන්ධයෙන් අමාත්‍යාංශය වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් පැවසු කෝප් සභාපතිවරයා ඒ පිළිබදව සිය දැඩි අප්‍රසාදය පළ කළේය.
මේ අනුව මේ පිළිබදව කඩිනම් විමර්ශනයක් සිදු කර මෙම මූල්‍ය පාඩුව අයකර ගැනීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග සති දෙකක් තුළ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
එසේම මෙවැනි පුද්ගයන් යළි රාජ්‍ය සේවයේ තනතුරු සදහා පත් නොකිරීමට වගබලා ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයාට, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිපාලන අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දන්වා සිටීමට කටයුතු කරන බවද කෝප් සභාපතිවරයා සදහන් කළේය. එසේම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දන්වා සිටින බවද සභාපතිවරයා පැවසීය.
තවද ආයතනයේ පරිපාලනමය ගැටලු, මූල්‍ය පාලනය, ආයතනික විනය, වත්කම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය යන අංශ පිළිබද පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයා විසින් අමාත්‍යාංශයට නිර්දේශයක් ලබා දුන් බවත් එහි වාර්තාව මසක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙසත් දැනුම් දුන්නේය.
නව අධ්යක්ෂ ජනරාල්වරියක් ඇතුළු පුරප්පාඩුව පවතින ප්‍රධාන තනතුරු 7 ට පත් කිරීම් සිදු කිරීම
අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරිය මැයි මාසයේ විශ්‍රාම යාමට නියමිත බැවින් නව අධ්යක්ෂ ජනරාල්වරියක් පත් කිරීම සදහා පියවර ගැනීමට ලබා දුන් පසුගිය කමිටු රැස්වීමේ නිර්දේශය පිළිබදව ද අවධානය යොමුවිය.
එසේම මේ වන විට අධ්යක්ෂ (මුදල්), විගණන නිලධාරී, අධ්යක්ෂ (පරිපාලන) ඇතුළු ප්‍රධාන තනතුරු 7 ක් පුරප්පාඩුව පවතින බවත් එ් අනුව පරිපාලනය මුළුමනින්ම අඩාලවී ඇති බවත් මෙහිදී හෙළි විය. එබැවින් එම තනතුරු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසත් කමිටුව උපදෙස් දුන්නේය. නව බදවා ගැනීම් සිදු කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් බැවින් එ් පිළිබදව වහාම සොයා බලා සති දෙකකින් කමිටුවට දන්වන ලෙසද කෝප් සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
අධිකාරියේ අරමුණට පරිබාහිරව සිදුකර ඇති කටයුතු කර ඇති අවස්ථා
අහංගම හෝටල් පාසැල සංචාරක හෝටලයක් ලෙස රු. මිලියන 148 කට ආසන්න මුදලක් වැය කිරමින් නවීකරණය කිරීම, පොතුවිල් හෝටල් පාසැල් පරිශ්‍රයේ සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබා දෙන කාමර 10 ක් ඉදිකිරීම ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. අධිකාරියේ අරමුණුවලින් පරිබාහිව විශාල මුදලක් වැය කරමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළද අද වන විට මේවා පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් උදා වී ඇති බව අනාවරණය විය.
