රටේ පවතින සහල් අර්බුදය නැති කිරීම සඳහා වහාම රජයේ මැදිහත්ව වී සහ සහල් වලට පාලන මිලක් නියම කළ යුතු බව ද එසේ නොකළහොත් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මැති ඇමැතිවරු හමුවීමට පැමිණෙන බව අද (14දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දඹුල්ලේ දී පැවසීය.
මෙදින සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දඹුල්ල නගරයට පැමිණ නව සංවිධානයක් ආරම්භ කිරීම සිදු කළහ .
සෑම අංශයකින්ම බරපතළ ලෙස බැට කන අවස්ථාවක සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට පත්ව ඇති අර්බුදය සඳහා උත්තර සෙවීමටත් කිසිදු දේශපාලන පක්ෂ වලට ගැති නොවී සටන් කිරීම සඳහා පාරිභෝගිකයාත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කිරීමට මෙම සංවිධානය කටයුතු කරන බව ඔවුහු පැවසූහ
මෙම සංවිධානයේ ප්‍රධානතම අරමුණ බවට පත්ව ඇත්තේ මෙරට සහල් නිෂ්පාදනය සහ වී නිෂ්පාදනය සඳහා පාලන මිලක් ලබා ගැනීම බවය .
ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 75ක උපරිමයක මිලක් ලබා දී එම වී කිලෝවකට රුපියල් 25 ක මුදලක් රජයෙන් ගොවීන්ට ලබා දීම සිදු කළ යුතු බවද ඒ අනුව ගොවියාට වී කිලෝවකට රු 100ක මුදලක් ලැබෙන බවත් සහල් කිලෝ එකක් රුපියල් 150ක මිලකට අලෙවි කිරීම සඳහා රජය වහා නීති ක්‍රියාත්මක කළ යුතු බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති .
මෙම මාධ්‍ය හමුවේ දී වී මෝල් හිමියන්ට අමතරව වී ඇසුරුම් කිරීම සඳහා පොලිසැක් බෑග් නිෂ්පාදනය කරන සමාගම් හි කණ්ඩායම් ද එක්ව සිටි අතර ඔවුන් සඳහන් කළේ ඩොලර් හිගය ,ඩොලරය ඉහල යෑමේ සිද්ධිය මෙන්ම ඉන්ධන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ඇසුරුම් නිෂ්පාදනය කිරීම ද රුපියල් 35 කින් පමණ ඉහළ දැමීම්ට සිදුවන බව ය
එසේ සිදුවුවහොත් එහි පාඩුවද ගොවීන්ට වී මෝල් හිමියන්ට දරා ගත යුතු බව සඳහන් කර සිටියහ. ඊට අමතරව මේ වන විට දිවයිනේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සියයට හැත්තෑවක් සම්පූර්ණයෙන්ම වසා දමා එහි සේවකයන් දැඩි අර්බුදයකට මුහුණ පා වී මෝල් හිමියන් ද ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාව රජය සුළු හා මධ් පරිමාණ වී මෝල් හිමියන් රවටා මහා පරිමාණ වී මෝල් හිමියන් ගේ අවශ්‍යතාවන් ඉටු කරමින් සිටින බව මෙම කණ්ඩායම් මාධ්‍ය හමුවේ දී චෝදනා කරන්නට වූහ.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ නව සභාපති නිශාන්ත බණ්ඩාර අත්තනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මේ රටේ තුන්වේල බත් කන ජනතාව සහල් අර්බුදයට රජය මැදිහත් නොවන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කරන්නට විය.
එමෙන්ම වෙළඳ ඇමතිවරයා රුපියල් සියයකට හාල් කිලෝවක් ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ කෘෂිකර්ම ඇමතිවරයා වී කිලෝවක් රුපියල් සියයකට මිලදී ගන්නා බව ප්‍රකාශ කරන බවද රජයේ ඇමතිවරුන්ට සහ රජයට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති නිසා පාරිභෝගිකයා ගොවියා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් අර්බුදයකට මුහුණ පා ඇති බව සඳහන් කළේය.
රජය වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙන්දන්ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කල බවද එහෙත් පසුව එම ගැසට්ටුව අකුලා ගත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් ගේ අවශ්යකාවයක් සැපිරීම සඳහා බවටද චෝදනා කළේය .
පාරිභෝගිකයා මෝල් හිමියන් සියලු දෙනාම රජය මෙම ගැසට්ටුව හරහා මහා මෝල් හිමියන්ට අලෙවි කළ බවට ද හෙතෙම මාධ්‍ය හමුවේ දී චෝදනා කළේය .
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් වැසී යාම නිසා තවත් කර්මාන්ත රැසක් මේ වනවිටත් දිවයිනේ වැසි ඇති බවද මෙම ප්‍රශ්න ගැටලුවලට නිසි උත්තර සහ විසඳුම් සොයා ගෙන ලබන සතිය වන විට තම සංවිධානය අමාත්‍යවරුන් හමුවීමට එන බවද ඒ එන අවස්ථාවේ දී කිසිදු ආකාරයෙන් ඇමතිවරුන්ට රජයට මගහැර යා නොහැකි බව ද හෙතෙම දැඩිව කියා සිටියේය.
මෙම ගනුදෙනුව බේරා ගැනීම්ට රජය සමඟ නොහැකි වුවහොත් තම සංවිධානය අධිකරණයේ පිහිට පතන බව ද සභාපති වරයා පැවසීය.


