මෙරට වී වගාව තුළින් හෙක්ටෙයාර් එකකට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් හදුන්වා දීමට හා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.
ඊයේ (22) බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී පැවැති වැඩ සටහනක දී එම සංවිධානයන් විසින් මෙම තොරතුරු අනාවරණය කළේය. Rice up යනුවෙන් නම් කර තිබු මෙම වී වගාව වැඩ පිළිවෙළ ඊයේ දින ආරම්භ කළේය.
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 71,000 සඳහා එක් ගොවියෙකුට යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීමට අදාලව යුරියා පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම සිදු කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙනිස් චයිබි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
රුපියල් බිලියන 1.5ක වටිනාකමින් යුත් යුරියා පොහොර තොගය මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි මහතා විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වගා ක්‍රමයක් වන පැරචුට් ක්‍රමය ගොවි ජනතාවට හඳුන්වා දීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය උපාංග ලබා දීම සනිටුහන් කිරීම වෙනුවෙන් අසළ කුඹුරක පැරචුට් ක්‍රමයට ගොයම් පැළ සිටුවීමේ ආදර්ශන වැඩ සටහනක් ද පැවැත්විය.
මෙරට ගොවීන්ගේ වී අස්වැන්න ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රබල කාරණයක් වන්නේ උසස් තත්ත්වයේ බීජ වී ලබා ගැනීමට ඇති අපහසුව වේ. මේ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි At 362 බීජ වී තොගයක් ද බාර දෙනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි මහතා ශ්‍රී ලංකාව පැවැති ආර්ථික දුෂ්කරතාවලින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබීම සතුටට කාරණයක් බව ප්‍රකාශ කළේය.
