2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මින් පෙර රජය විසින් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය (03) වන විට එම මුදල් සම්පූර්ණ ප්‍රමාණයම වී මිල දී ගෙන අවසන් විය.
අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකඟත්වය පළ කර තිබූ අතර ඒ අනුව ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති විසින් තවත් රුපියල් බිලියන 03ක මුදලක් වී මිල දී ගැනීම සඳහා ලබා දීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිනි.
එසේ මිල දී ගන්නා වී සහල් බවට පත් කර අප රටේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට එක් පවුලකට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් ලබා දීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට අදාල සහල් බෙදාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන අතර අවශ්‍ය වුවහොත් තවත් මාස කිහිපයක් එසේ සහල් ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධීපතිතුමන් තීරණය කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.