වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ගොවි නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගෙන් වී මිල තීරණය කිරීමේ කමිටුවට තම නියෝජිතයින්ට ද අවස්ථාව සළසා දෙන ඊයේ (09) ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත්‍රික් 25 ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
වී විල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ගරු ජනාධිපතිතුමන් විසින් තීරණය කරනු ඇති බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
වී කිලෝවක මිල රුපියල් 100ක් බවට තීරණය කරන ලද්දේ ගොවි ජනතාව විසින් වී මිල රුපියල් 65-70 දක්වා පහළ වැටී ඇතැයි කළ ප්‍රකාශ ද සැළකිල්ලට ගනිමිනි.
වී මෙට්‍රික් ටොන් 63,000ක් මිල දී ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒවා සහල් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් බෙදා දීම රජයේ අරමුණ වේ.
කෙසේ වුවද ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට ගොවි ජනතා නියෝජනය සඳහා අවස්ථාවක් ලබා දීමට ගොවි නියෝජිතයින් තිදෙනෙක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.