වී අලෙවි මණ්ඩලය සතු වී ටොන් 30000ක් සහල් කිරීමට යයි
වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය මඟින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2026 ජූලි 22 වැනිදා පැවැති 34 වැනි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව, වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්ටොන් 30,000ක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීමට නියමිතය.
එම සහල් කිලෝග්‍රෑම් 5, 10, 25 සහ 50 ඇසුරුම් ලෙස සකස් කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන්ගෙන් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් අභිලාෂ කැඳවීමට නියමිතය.
එමෙන්ම, වී සහල් බවට පරිවර්තනය කිරීමේ අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත මිල කමිටුව කටයුතු කරනු ඇත.
නිෂ්පාදනය කරනු ලබන සහල් ලංකා සතොස, සමුපකාර ජාලය සහ පෞද්ගලික අංශය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට ද නියමිතය.
ඒ අනුව, අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

