නිවැසියන්ට අපල සහ භූමි දෝෂ ඇති බව පවසමින් ඔවුන්ගේ රන්බඩු ජීවම් කොට අපල කැපෙන මැණික් අල්ලාගෙන බවව පවසමින් විශ්රාමික ගුරුවරියකගෙන් පවුම් දොළහක ස්වර්ණාභරණ ලබාගෙන ආපසු නොදී වංචා කළ බව කියන පුද්ගලයකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර බෝගම්බර ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු එසේ අත්අඩංගුවට ගැන ඇති අතර මහනුවර ජලාශ පාරේ විශ්රාමික ගුරුවරියක රවටා සතු මාල, මුදු, පෙන්ඩන්ට්, අත් පළඳනා ඇතුළු රන් භාණ්ඩ තොගයක් සැකකරු විසින් ලබාගෙන නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් පළමුව ගුරුවරියගේ මුද්දක් රැගෙන ගොස් ඊට මැණික් ගලක් සවිකොට ගෙනදී ඇති අතර ඉයින් අනතුරුව අවස්ථා තුනකදී සැකකරු එම නිවසට ගොස් පවුම් දොළහක භාණ්ඩ රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මහනුවර පොලිස් වසමේ රෝසවත්ත ප්රදේශයේ නිවසක පිරිසක් මත්කුඩු උරන බවට අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාට ලද තොරතුරකට අනුව එම නිවස වැටලීමේදී මෙම සැකකරුද පොලිසියට කොටුවීී තිබේ. ඉන් අනතුරුව සිදුකළ ප්රශ්න කිරීම්වලදී මෙම වංචාව හෙළි වී ඇති අතර ඔහුට එරෙහිව මීට පෙරද මෙවැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි ඇති බවද පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. රාජපක්ෂ උප පොලිස් පරීක්ෂක රොෂාන්, පොලිස් කොස්තාපල් 48160 රත්නායක, පොලිස් කොස්තාපල් 85517 දිසානායක, කාන්තා පොලිස් සැරයන් 3943 කාන්ති සහ පොලිස් කොස්තාපල් රියදුරු 3714 ලක්ෂාන් යන නිලධාරීහු විමර්ශන සිදුකරයි.

