විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරූ රක්ෂිතයේ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සඳහා අනවසර ඉදිකිරීම් කිරීමට එහි අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් එළි කිරීම නීතිවිරෝධි බව තීන්දු කරමින් හානි වූ රක්ෂිත ප්‍රදේශ වලට සමාන වපසරියකින් යුතු වෙනත් ප්‍රදේශයක රුක් රෝපණ වැඩසටහනක් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුද්දීන්ගේ මුදලින් කරන ලෙස නියම කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා ඒ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19දා) තීරණය කළේය.
ඒ අනුව මෙම පෙත්සම මාර්තු 17 වැනිදා කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය. හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා විසින් ගොනු කළ මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය, වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා, මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයිද විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 ක් හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී ඇතැයිද පවසමින් වගඋත්තරකාර සංවිධානය අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබු බව නීතීඥ සමාගමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමේ රිෂාඞ් බදුර්දීන් මහත සදහන් කොට ඇත.