වියත්පුර මන්ත්‍රී නිවාස ලබා දීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිල දී ගැනීමට ලබා දී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී අතැයිද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022-07 -04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34 ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21ක් ලෙස අඩු කර සහනදායී ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අයකර ගැනීමටත් 2024-07-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
රජය සඳහන් කළේ, එම ක්‍රමවේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු 2024-12-31 දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර ඇති බව ය.
මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126 ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි රජය සඳහන් කළේ ය.
එබැවින්, ඉහත පරිදි අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.