වියට්නාමයේ සරණාගත කදවුරක සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28දා) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .
මීට මාස කීපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතිවිරෝධී මුහුදු ගමනක යෙදෙමින් ඕස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටියදී , ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්ව තිබුණි .
එහිදී වියට්නාම් වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කදවුරක රදවා තැබීමට පියවර ගෙන තිබේ .
මේ බැව් සැළවූ වහාම ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන අරභා ඇති අතර, එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකග වූ ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර අද දින ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක හංසිකා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම ශ්‍රී ලාංකිකයන් 152 දෙනා අතරින් 09 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 143 දෙනා පිරිමි වූහ. ඔවුන් අලුයම 12.00 ට වියට්නාමයේ යන් ගොන් ( Yan Gon ) ගුවන් තොටුපළේ සිට ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 336 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව කොළඹ සිට පැමිණි තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ තුළ රදවා ගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ .