සුනඛයෙකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අන්දමේ ”ටික් ටොක්” වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරිය බව කියන රත්නපුරේ විමල බුද්ධි නොහොත් ”විශ්ව බුද්ධි මුනි” නමින් පෙනී සිටි රොෂාන් රණසිංහට නමැත්තාට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙර ඇප මත සැකකරු මුදා හැරීමට අද (29දා) නියම කළේය.
බුදු දහමට, සංඝයා වහන්සේලාට නිගා වන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවහොත් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන කටයුතු විවේචනය කරන ආකාරයේ ප්‍රකාශ කරනු ලැබුවහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පවසමින් සැකකරුට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න මහතා සමඟ පෙනී සිටි එහි පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද තිබ්බොටුවාව මහතා සිද්ධියට අදාළව කරනු ලැබු විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.බෞද්ධ ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරුට මීට පෙර ඇප දීමේදී මෙවන් වැරදි නොකිරීම ඇප කොන්දේසියක් ලෙස නියම කර නොතිබූ හෙයින් ඔහු එය උපයෝගි කර ගෙන අපහාසාත්මක වීඩියෝ යළිත් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි කීය.
1998 උපත ලැබු සැකකරු කොලූපිටියේ අමරකීර්ති නමින් 2019 වසරේදී පැවිදි වී ඇතැයිද, එම වසරේදීම සිවුර හැරදමා සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇති ඔහු ලංකාවට පැමිණි පසු රාමඤ්ඤ නිකායේ පැවිදිවී ඇතැයිද කී දිලීප පීරිස් මහතා 2020 ජනවාරි වන විට සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 26කට ආසන්න මුදලක් බැර වී ඇතත් නඩු කටයුතු ආරම්භ වූ පසු ඔහු ගිණුම්වලින් මුදල් යළි ලබාගෙන ඇතැයිද කීය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ද අල්විස් මහතා කරුණු දක්වමින් රාමඤ්ඤ මහ නිකාය පසුගිය 10 වැනිදා සිට සැකකරුගේ පැවිදි භාවය අහෝසි කර ඇතැයි දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙර ඇප මත සැකකරු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණීල්ල යළි කැඳවන ලබන මාර්තු 28 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියම කළේය.