විනාශ වූ මධ්‍යම මාර්ග ඉදිකිරීම අභියෝගයක්
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ග 316 ක් හානියට පත් වූ බවත් ඉන් මාර්ග 302ක් මේවනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එසේම මධ්‍යම පළාතේ මාර්ග නවයක්, ඌව පළාතේ මාර්ග දෙකක්, උතුරු පළාතේ මාර්ග දෙකක් සහ වයඹ පළාතේ එක් මාර්ගයක් පමණක් පිළිසකර කිරීමට ඉතිරිව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මාතලේ ඉලුක්කුඹූර ලග්ගල මාර්ගය දරුණු නාය යාමකට ලක් වු බැවින් මෙම මාර්ගය නැවත විවෘත කිරීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.එසේම කලල්පිටිය උකුවෙල ඇල්කඩුව මාර්ගය දරුණු ලෙස හානි වී ඇති බැවින් එම මාර්ගයේ එක් කොටසකට නව මාර්ග කොටසක් ඇතුළත් කිරීමට සිදු වී ඇති බවද එහිදී ඉඩම් අත්පත් කර ගැනීමට සිදු වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
තවද මොරගහකන්ද වැල්ලේවල මාර්ගය සඳහා නව පාලමක් ඉදි කිරීමට සිදුවන බව පැවසු ඒ මහතා ගොම්බොරුඔය ,බලපොකුණ පාර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව විවෘත කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.උතුරු පළාතේ කෝකිලායි නයාරු පාලම ශ්‍රී ලංකා හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව පිළීසකර බව පෙන්වා දුන් ඒ මහතා පරන්තන් , කරාචි මුලතිව් මාර්ගය ඉන්දීය හමුදා දායකත්වයෙන් බේලි පාලම ඉදිකරන බවද සඳහන් කළේය.
තවද මධ්‍ය කාලීන සැළසුම් යටතේ මාස හතරක පමණ කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් හානියට පත්වූ මාර්ග ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන බව පෙන්වා දුන් ඒ මහතා එම ඉදිකිරීම් ජනවාරි මස ආරම්භ කෙරෙන බව ද කීය. එසේම දීර්ඝ කාලීන වශයෙන් පාලම් ඉදිකිරීම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වසර 1 ½ ක පමණ කාලයක් ගතවනු ඇති බවත් විශාල හානියක් සිදු ව ඇති මධ්‍යම පළාතේ මාර්ග වැඩිදියුණු කිරීමේදී විශේෂයෙන් මාර්ග බෑවුම් සංරක්ෂණය කිරීම විශාල අභියෝගයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.ඒ අනුව එම කොටස් ඉදි කිරීමට වසර 1 ½ කට අධික කාලයක් ගතවනු ඇති බවත හෙතෙම කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

