ශාසන සම්ප්‍රදායයන්ට පටහැනිව විනය විරෝධී ලෙස කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීමට හැකිවන ආකාරයට විහාර දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය හැකි ඉක්මනින් සිදු කරන බව බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහනුවරදී පැවසීය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ශාසන සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා හැරීම ඇතුළු විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ආයුතු සංශෝධනයන් කඩිනමින් බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එම සංශෝධනයන් කාලයක් තිස්සේ සිදු කෙරෙමින් පැවතුණ බවත් වත්මන් රජය යටතේ එම කටයුතු නිමකොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කොට තිබෙන බවත් එය ඉතා කෙටි කාලයකින් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බවද පැවසීය.
එම නීති අණපනත් සම්මත වීමෙන් අනතුරුව කිසියම් නිකායක හිමිනමක් ශාසන විරෝධී විනය විරෝධී ආකාරයට කටයුතු කරන්නේ නම් අදාල නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ ඒ සම්බන්ධයෙන් වූ නිර්දේශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට ලබාදීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග මගින් අදාල හිමිනම ශාසනයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහනුවර දියවඩන නිලමේ නිලවරණය පවතින අනපනත් යටතේම ක්‍රියාත්මක වනු ඇතිබවත් එය වෙනස් කිරීම දිනකින් දෙකකින් හෝ අමාත්‍යවරයාගේ තීරණය මත කළ නොහැකි බවද පැවසීය. දියවඩන නිලමේ ධූර කාලය වසර 10 ක් ලෙස විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් කර තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කාදිනල් තුමාගෙන් වත්මන් රජයට කිසිදු බලපෑමක් නොමැති බවත් එතුමාට පුළුල් දැක්මක් තිබෙන බවත් උන්වහන්සේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද සහභාගි විය.
